
විදෙස් රැකියාවට යන ඔබටත්, ඔබේ පවුලේ අයටත් සුරක්ෂිත අනාගතයක්
FM Heart · 7 min read
රක්ෂණ ආවරණ, දරුවන්ට ශිෂ්‍යත්ව, නිවාස හා ව්‍යාපාරික ණය, ස්වයං රැකියා ආධාර ඇතුළු සුබසාධන ප්රතිලාභ රැසක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් 2027 අයවැය යෝජනා මගින් රුපියල් මිලියන 5 දක්වා වූ විශේෂ සහනදායී නිවාස ණය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබාදෙන විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව රටේ වටිනාම සම්පතකි. සිය පවුලේ ආර්ථිකය ශක්තිමත් කරමින් යහපත් අනාගතයක් ගොඩනැඟීමේ අපේක්ෂාවෙන් විදේශ රැකියා සඳහා පිටත්ව යන ඔවුන්, මෙරටට විදේශ විනිමය උපයා දෙන ප්‍රධාන පිරිසක් ලෙසද සැලකේ. එවැනි විගමනික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව, සුබසාධනය සහ ඔවුන්ගේ පවුල්වල අනාගත සුරක්ෂිතභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලබයි. විදේශ රැකියාවක නිරත වන කාලය තුළ පමණක් නොව, නැවත මව්බිමට පැමිණීමෙන් අනතුරුවද ශ්‍රමිකයාගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම මෙම වැඩසටහන්වල ප්‍රධාන අරමුණකි. රක්ෂණ ප්රතිලාභ, දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව, නිවාස ණය, ස්වයං රැකියා ආධාර, ව්‍යවසායකත්ව සංවර්ධන සහන සහ විශේෂ අවශ්‍යතා සහිත පවුල් සඳහා සුබසාධන පහසුකම් ඒ අතර ප්රමුඛ වේ. විගමනික ශ්‍රමිකයාට රක්ෂණ ආවරණයක් විදේශ රැකියාවක නිරත වීමේදී ශ්‍රමිකයන්ට විවිධ අවදානම්වලට මුහුණදීමට සිදුවිය හැකිය. හදිසි අනතුරු, රෝගාබාධ, ආබාධිත තත්ත්වයන් සහ මරණය වැනි අවස්ථාවලදී ශ්‍රමිකයාට හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ආර්ථික ආරක්ෂාවක් ලබාදීම සඳහා කාර්යාංශය මඟින් රක්ෂණ ප්රතිලාභ සලසා දී ඇත. ඒ අනුව විදේශ රැකියාවක නිරතව සිටියදී සිදුවන මරණයකදී රුපියල් 600,000ක රක්ෂණ ප්‍රතිලාභයක් හිමි වේ. රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙරටට පැමිණීමෙන් පසුව සිදුවන මරණයකදී රුපියල් 250,000ක ප්‍රතිලාභයක් ලබාදීමටද විධිවිධාන සලසා ඇත. හදිසි අනතුරකින් සදාකාලික පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වන ශ්‍රමිකයන් සඳහා රුපියල් 500,000ක් දක්වාද, සදාකාලික අර්ධ ආබාධිත තත්ත්වයකදී රුපියල් 125,000ක් දක්වාද රක්ෂණ ප්රතිලාභ හිමි වේ. මෙවැනි අවස්ථාවලදී නැවත මෙරටට පැමිණීම සඳහා වැයවන ගුවන් ටිකට්පත් ගාස්තු සත්‍ය පිරිවැය අනුව ප්‍රතිපූරණය කිරීමටත්, වෛද්‍ය වියදම් සඳහා රුපියල් 50,000ක් දක්වා සහන ලබාදීමටත් පහසුකම් සලසා තිබේ. අදාළ හිමිකම් සඳහා නියමිත කොන්දේසි හා කාලසීමා බලපැවැත්වේ. තවද කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියාවක නිරතව සිටියදී මියයන ශ්‍රමිකයන් වෙනුවෙන් රක්ෂණ ප්‍රතිලාභයට අමතරව කාර්යාංශයේ සේවක සුබසාධන අරමුදලින් තවත් රුපියල් ලක්ෂ 14ක මුදලක් ලබාදීමටද කටයුතු කෙරේ. විගමනික ශ්‍රමිකයන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට ශිෂ්‍යත්ව විදේශගත ශ්‍රමිකයන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම සඳහා කාර්යාංශය විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කරයි. ඒ යටතේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන්ට රුපියල් 25,000ක්ද, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත් දරුවන්ට රුපියල් 30,000ක්ද, උසස් පෙළ විභාගය සමත් දරුවන්ට රුපියල් 40,000ක්ද බැගින් ශිෂ්‍යත්ව ප්රදානය කෙරේ. විශ්වවිද්‍යාල, කාර්මික විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල ඩිප්ලෝමා හෝ උපාධි පාඨමාලා හදාරන දරුවන්ටද අදාළ කොන්දේසි යටතේ මෙම ප්රතිලාභ සඳහා අවස්ථාව සලසා ඇත. ශිෂ්‍යත්ව අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ කැඳවනු ලබන අතර, පුවත්පත්, සමාජ මාධ්‍ය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පාසල් මඟින් ඒ පිළිබඳ දැනුවත් කිරීම් සිදුකෙරේ. පාසල් උපකරණ සහ ලැප්ටොප් පරිගණක පහසුකම් මාසිකව ඇමෙරිකානු ඩොලර් 400කට අඩු වැටුපක් ලබන විගමනික ශ්‍රමිකයන්ගේ දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ ලබාගැනීමට රුපියල් 10,000ක් වටිනා වවුචර්පත් ලබාදීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක වේ. ග්‍රාම නිලධාරී, පාසල් ප්‍රධානී සහ විදේශ රැකියා සංවර්ධන නිලධාරීගේ නිර්දේශ මත එක් දරුවකුට එක් වරක් මෙම සහනය ලබාගත හැකිය. එසේම මාසිකව ඇමෙරිකානු ඩොලර් 400කට අඩු වැටුපක් ලබන විගමනික ශ්‍රමිකයන්ගේ දරුවන් අතරින් උපාධි, ඩිප්ලෝමා සහ NVQ Level 4 මට්ටමට ඉහළ පාඨමාලා හදාරන සිසුන් සඳහා අදාළ කොන්දේසි යටතේ ලැප්ටොප් පරිගණක ලබාදීමේ පහසුකම්ද සලසා ඇත. පහ වසර ශිෂ්‍යත්ව සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා සූදානම් වන දරුවන් වෙනුවෙන් අධ්‍යාපන සම්මන්ත්රණ පැවැත්වීමද මෙම සුබසාධන වැඩසටහන්වල තවත් අංගයකි. නිවසක් හිමිකර ගැනීමට රුපියල් මිලියන 10ක් දක්වා ණය පහසුකම් විදේශ රැකියාවක නිරත වන බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රධාන බලාපොරොත්තුවක් වන්නේ තමන්ගේම නිවසක් ඉදිකර ගැනීමයි. මෙම අපේක්ෂාව යථාර්ථයක් කරගැනීමට සහාය වීම සඳහා කාර්යාංශය විසින් ‘එතෙර දිරිය’ නිවාස ණය වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. ඒ යටතේ විදේශගතව සේවයේ නිරත ශ්‍රමිකයන්ට නිවසක් ඉදිකිරීමට හෝ මිලදී ගැනීමට රුපියල් මිලියන 10ක් දක්වා බැංකු ණය ලබාගැනීමේ අවස්ථාව හිමි වේ. මෙම ණය සඳහා ගෙවිය යුතු පොලියෙන් කොටසක් කාර්යාංශය විසින් ශ්‍රමිකයාට ප්‍රතිපූරණය කිරීමද විශේෂත්වයකි. අඩු පොලියට රුපියල් මිලියන දෙකක් දක්වා ණය විගමනික ශ්‍රමිකයන්ගේ ආර්ථික හා සමාජීය අවශ්‍යතා සපුරාලීම සඳහා බහු විධ ණය යෝජනා ක්රමයක්ද හඳුන්වා දී ඇත. මෙම වැඩසටහන යටතේ වාර්ෂික සියයට 8ක පොලී අනුපාතයකට රුපියල් මිලියන දෙකක් දක්වා ණය ලබාගැනීමට අවස්ථාව සලසා තිබේ. නිවාස, ව්‍යාපාර, වාහන, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ වෙනත් ඵලදායී අවශ්‍යතා සඳහා මෙම ණය මුදල් යොදාගත හැකිය. ඊට අමතරව විදේශ රැකියාවකට පිටත්ව යාමට අපේක්ෂා කරන, ආර්ථික අපහසුතා සහිත පුද්ගලයන්ට අවශ්‍ය මූලික වියදම් සපුරාගැනීම සඳහා බැංකු සහ මූල්‍ය ආයතන වෙත නිර්දේශ ලිපි නිකුත් කිරීමද කාර්යාංශය මඟින් සිදුකරයි. ගුවන් ටිකට්පත් මිලදී ගැනීම සහ ලියාපදිංචි ගාස්තු ගෙවීම වැනි අවශ්‍යතා සඳහා මෙම පහසුකම වැදගත් වේ. නැවත මව්බිමට පැමිණෙන ශ්‍රමිකයන්ට ස්වයං රැකියා සහ ව්‍යවසායකත්ව ආධාර විදේශ රැකියාව නිමකර ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රමිකයන්ට මෙරට තුළ ස්ථාවර ආදායම් මාර්ගයක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය සහාය ලබාදීම කාර්යාංශයේ තවත් ප්රමුඛ කාර්යයකි. ඒ අනුව ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට හෝ පවත්නා ස්වයං රැකියාවක් වැඩිදියුණු කරගැනීමට අදියර දෙකක් යටතේ රුපියල් 150,000ක උපරිමයකට යටත්ව ආධාර ලබාදේ. එසේම සාර්ථක ව්‍යවසායකයන් බිහිකිරීමේ අරමුණින් රුපියල් 250,000, රුපියල් 500,000 සහ රුපියල් 1,000,000 යන මට්ටම්වල ව්‍යවසායකත්ව සංවර්ධන ආධාර ලබාදීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක වේ. විදේශ රැකියාවෙන් උපයාගත් ආදායම ඵලදායී ආයෝජනයකට යොමුකරමින් ශ්‍රමිකයන් ව්‍යවසායකයන් බවට පත්කිරීම මෙම වැඩසටහන්වල අරමුණයි. විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට සහ ආබාධිත ශ්‍රමිකයන්ට සහන විගමනික ශ්‍රමික පවුල්වල විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සහ විශේෂ දක්ෂතා දක්වන දරුවන් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය සහන හා පහසුකම් ලබාදීමටද කාර්යාංශය කටයුතු කරයි. විදේශ රැකියාවේ නිරතව සිටියදී හදිසි අනතුරුවලට මුහුණදී සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වන ශ්‍රමිකයන්ටද විශේෂ සහන සලසා ඇත. ආබාධිත ප්‍රතිශතය සියයට 65කට වැඩි සහ නිවාස අවශ්‍යතාවක් පවතින ශ්‍රමිකයන් සඳහා නිවසක් ඉදිකර දීම හෝ පවතින නිවසේ කොටසක් අලුත්වැඩියා කරදීම එවැනි එක් සහනයකි. මෙය රක්ෂණ හිමිකමට අමතරව ලබාදෙන සුබසාධන පහසුකමකි. අඩු ආදායම්ලාභී ශ්‍රමික පවුල්වල දරුවන්ට දිවා සුරැකුම් සහන මාසිකව ඇමෙරිකානු ඩොලර් 400කට අඩු වැටුපක් ලබන විගමනික ශ්‍රමික දෙමාපියන්ගේ දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථානවල රැකවරණය ලබන්නේ නම්, එම ගාස්තු ප්‍රතිපූරණය කිරීම සඳහා ද පහසුකම් සලසා ඇත. ඒ අනුව එක් දරුවකු වෙනුවෙන් මාසිකව රුපියල් 10,000ක උපරිමයකට යටත්ව දිවා සුරැකුම් මධ්‍යස්ථාන ගාස්තු ප්‍රතිපූරණය කෙරේ. වෛද්‍ය සහන, විශ්‍රාම වැටුප් සහ වෙනත් සුබසාධන පහසුකම් රක්ෂණ ආවරණයෙන් සහන නොලැබෙන පුද්ගලයන් සඳහා සානුකම්පිත පදනම මත කාර්යාංශයේ සේවක සුබසාධන අරමුදලින් සහන ලබාදීමේ වැඩපිළිවෙළක්ද පවතී. ඖෂධ, වෛද්‍ය උපකරණ, වෛද්‍ය නිර්දේශ මත අවශ්‍ය ආහාරපාන සහ ආපදා සහන ලබාදීමද සුබසාධන වැඩසටහන් අතරට ඇතුළත්ය. මීට අමතරව විගමනික ශ්‍රමිකයන්ගේ අනාගත ආර්ථික සුරක්ෂිතභාවය වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමද කාර්යාංශයේ වැඩසටහන් අතර වේ. විදේශගත වීමට පෙර කාර්යාංශයේ ලියාපදිංචිය අනිවාර්යයි විදේශ රැකියාවක් සඳහා පිටත්ව යන සියලු ශ්‍රී ලාංකික පුරවැසියන් විදේශගත වීමට පෙර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීම අනිවාර්ය වේ. 1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතේ 53(3) වගන්තිය ප්‍රකාරව මෙම ලියාපදිංචිය අවශ්‍ය වේ. කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමෙන් විදේශ රැකියාවේ නිරත ශ්‍රමිකයාට මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ද විවිධ ආරක්ෂණ හා සුබසාධන ප්රතිලාභ සඳහා සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමි වේ. එබැවින් විදේශ රැකියාවක් සඳහා පිටත්ව යාමට අපේක්ෂා කරන සෑම ශ්‍රී ලාංකිකයකුම නිසි ලියාපදිංචිය ලබාගැනීම සහ තමන්ට හිමිවිය හැකි ප්රතිලාභ පිළිබඳ කල්තියා දැනුවත් වීම ඉතා වැදගත්ය. සුරක්ෂිත අනාගතයකට අත්වැලක් විදේශ රැකියාවක් යනු තනි පුද්ගලයකුගේ ආදායම් මාර්ගයක් පමණක් නොව, සමස්ත පවුලක අනාගතය වෙනස් කළ හැකි අවස්ථාවකි. විදේශගත ශ්‍රමිකයන්ගේ ජීවිත ආරක්ෂා කිරීම, ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට අත්වැලක් වීම, නිවාස සිහිනය සැබෑ කරගැනීමට සහාය දීම සහ නැවත මව්බිමට පැමිණි පසු ස්ථාවර ආදායම් මාර්ගයක් ගොඩනඟා ගැනීමට අවස්ථාව සලසා දීම තුළින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සුවිශේෂී සමාජ මෙහෙවරක් ඉටුකරයි. විගමනික ශ්‍රමිකයාගේ ආරක්ෂාවත්, ඔහුගේ පවුලේ සුබසාධනයත්, දරුවන්ගේ අනාගතයත් සුරක්ෂිත කිරීම වෙනුවෙන් කාර්යාංශය ලබාදෙන මෙම පහසුකම් විදේශ රැකියා ක්ෂේත්රයට එක් කරන වැදගත් සමාජ ආරක්ෂණයකි. 2027 අයවැය යෝජනා මගින් විගමනික ශ්‍රමිකයන්ගේ නිවාස අවශ්‍යතා සපුරාලීම සඳහා රුපියල් මිලියන 5ක් (ලක්ෂ 50ක්) දක්වා වූ විශේෂ සහනදායී නිවාස ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇත. මේ සඳහා රජයේ දායකත්වය ලෙස 2027 වසර වෙනුවෙන් රුපියල් මිලියන 1,000ක් (බිලියන 1ක්) වෙන් කිරීමට යෝජනා කර තිබේ. විගමනික ශ්‍රමිකයන්ගේ නිවාස අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් පළමු රුපියල් මිලියන 3 සඳහා 10%ක පොලී සහනාධාරයක් ද, ඉතිරි රුපියල් මිලියන 2 සඳහා 5%ක පොලී සහනාධාරයක් හිමිවේ. මධුශාන් කුලරත්න කළමනාකරු මාධ්‍ය හා ප්‍රචාරණ

