FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

නැගී එන කිරුළ දිනන්නට ශ්‍රී ලංකාව අද සූදානම්

FM Heart · 8 min read

The Heart Academy
පරිවර්‍තන කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ජයග්‍රාහී මාවතකට රැගෙන යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය පිළිබඳව අවිනිශ්චිතතාවය අඳුරු වළා පටල පැතිර තිබූ යුගයක නව බලාපොරොත්තුවක රිදී රේඛාවක් නොවැම්බර් (26) බ්‍රහස්පතින්දා කටාර් රාජ්‍යයේ දෝහා නුවරින් දිස්විය. ඒ ආසියානු කුසලාන (ACC Men’s Asia Cup Rising Stars 2026) ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්‍ව තරගයේදී ප්‍රබල ඉන්දීය ‘ඒ’ කණ්ඩායම කඩුලු 8 කින් පරාජය කරමින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අවසන් මහා තරගයේ දොරගුළු විවර කර ගැනීමත් සමගය. මෙය හුදෙක් එක් ක්‍රිකට් තරගයක ජයග්‍රහණයක් පමණක් නොවන අතර 2026 අප්‍රේල් මාසයේදී මෙරට ක්‍රිකට් පරිපාලනය සහ ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පත් කළ ක්‍රිකට් පරිවර්‍තන කමිටුවේ (Cricket Transformation Committee) විද්‍යාත්මක සැළසුම්වල පළමු ඵල නෙළා ගැනීමක් ලෙස හැඳින්විය හැකිය. දිගින් දිගටම ජාත්‍යන්තර තලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබූ පසුගාමී සහ පරිපාලන අර්‍බුද හමුවේ 2026 අප්‍රේල් 29 වන දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සුසිල් කුමාර ගමගේ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්‍තන කමිටුව පත් කරන ලදී. එරාන් වික්‍රමරත්න මහතාගේ සහභාගිත්වයෙන් යුත් මෙම කමිටුව සිදත් වෙත්තමුණි, රොෂාන් මහනාම, කුමාර සංගක්කාර වැනි මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පුරවෘත්තයන් ඇතුළත් වීම ක්‍රීඩාලෝලීන් තුළ නව විශ්වාසයක් ඇති කළේය. එම නිසා මෙම ජයග්‍රහණ අහම්බයක් නොවන බවද ඉතා පැහැදිලිය. 2026 ආසියානු කුසලාන නැඟීඑන තුරු එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට අපරාජිතව පිවිසි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ වික්‍රමාන්විතය පිළිබඳ දිවයින කළ විශේෂ මෙහෙයුම පහතින් වෙයි. පවන් රත්නායකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම තරගාවලිය ආරම්භයේ සිටම ඉතා සැළසුම් සහගත, ආක්‍රමණශීලී මෙන්ම පරිණත ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළේය. විශේෂයෙන්ම ප්‍රබල ඉන්දීය ‘ඒ’ කණ්ඩායම හමුවේ පැවැති අවසන් පූර්‍ව තරගයේදී ලකුණු 318 ක දැවැන්ත ඉලක්කයක් පන්දුවාර 41 පන්දු 3 කදී කඩුලු 2ක් පමණක් දැවී හඹා යමින් ලබාගත් ඓතිහාසික ජයග්‍රහණය මුළු මහත් ආසියානු ක්‍රිකට් ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත්විය. පෙර සූදානම සහ 2026 වසරේ පසුබිම 2026 වසර පුරාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ‘ඒ’ කණ්ඩායම ලබා දුන් අඛණ්ඩ ජාත්‍යන්තර තරග අත්දැකීම් මෙම ජයග්‍රහණය පිටුපස ඇති ප්‍රධානතම ශක්තියයි. 2026 අප්‍රේල් මාසයේ නවසීල්නත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පැවැති නිල නොවන ටෙස්ට් තරගාවලිය ජය ගැනීමෙන් සහ එක්දින තරගාවලියේ දැක්වූ දස්කම්වලින් ඇරඹි ඔවුන්ගේ ගමන ජුනි මාසයේදී දඹුල්ලේදී ඉන්දීය ‘ඒ’ සහ ඇෆ්ගනිස්ථාන ‘ඒ’ කණ්ඩායම සමග පැවැති තුන්කොන් එක්දින තරගාවලියේදී තවදුරටත් මුවහත් විය. එම තුන්කොන් තරගාවලියේදී ඇෆ්ගනිස්ථානයට එරෙහිව විශිෂ්ට ජයග්‍රහණ ලබාගත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ ඉන්දීය ‘ඒ’ කණ්ඩායම සමග පැවැති තරගය සම වීමෙන් පසු සුපිරි පන්දුවාරයේදී ජය ගැනීමට සමත්වූහ. අවසන් තරගයේදී ඉන්දියාව හමුවේ පරාජය වුවද එම තරගාවලියේදී ලද අත්දැකීම් කටාර්‍හිදී ඉන්දියාවට පාඩමක් ඉගැන්වීමට එය ඉතා ඉවහල් විය. මූලික වටයේ අපරාජිත ආධිපත්‍යය 2026 නොවැම්බර් 19 වන දින කටාර්‍හිදී දෝහා නුවරදී ආරම්භ වූ මෙම තරගාවලියේ ඒ කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට මූලික වටයේදී ඇෆ්ගනිස්ථාන ‘ඒ’, හොංකොං සහ බංග්ලාදේශ ‘ඒ’ යන කණ්ඩායම් සමග තරග වැදීමට සිදුවිය. ඇෆ්ගනිස්ථානයට එරෙහිව ප්‍රබල ආරම්භයක් (නොවැම්බර් 19) තරගාවලියේ සිය පළමු තරගයේදීම ප්‍රබල ඇෆ්ගනිස්ථාන ‘ඒ’ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සිය අණසක පැතිරවූහ. දෝහාහි වෙස්ට් එන්ඩ් පාර්‍ක් ක්‍රීඩාංගණයේදී පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 35 පන්දු 3 කදී ලකුණු 139 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 21 පන්දු හතරකදී කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 144 ක් ලබා ගනිමින් තවත් පන්දු 170 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක විශිෂ්ට ජයක් ලබාගත්හ. හොංකොං හමුවේ තියුණු සටනකින් ජය (නොවැම්බර් 21) දෙවැනි තරගයේදී හොංකොං කණ්ඩායමට එරෙහිව පළමුව පන්දුවර පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 284 ක් ලබාගත්තේය. පිළිතුරු ඉනිම ඇරඹූ හොංකොං පිතිකරුවෝ එක් අවස්ථාවක කඩුලු 1ක් පමණක් දැවී ලකුණු 172 ක් ලබා ප්‍රබල ස්ථානයක පසුවූහ. එහෙත් පීඩනය හමුවේ නොසැලුණු ශ්‍රී ලංකා පන්දු යවන්නන් තරගයේ අවසන් භාගයේදී ක්‍රියාත්මක වීමෙන් හොංකොං ඉනිම ලකුණු 260 කට (කඩුලු 9 ක් දැවී) සීමා කර ලකුණු 24 ක ජයක් හිමිකර ගත්තේය. බංග්ලාදේශය අසරණ කරමින් අවසන් පූර්‍ව වටයට (නොවැම්බර් 23) මූලික වටයේ අවසන් තරගය බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකා දඟපන්දු බලඇණිය හමුවේ අසරණ වූ බංග්ලාදේශ පිතිකරුවන්ට පන්දුවාර 42 පන්දු 5 කදී රැස් කරගත හැකි වූයේ ලකුණු 145 ක් පමණි. විශේෂයෙන්ම වනුජ සහන් සහ රවිඳු ප්‍රනාන්දුගේ පන්දු යැවීම හමුවේ බංග්ලාදේශ ඉනිම බිඳවැටුණි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පන්දුවාර 21 පන්දු 5 කදී කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 146 ක් ලබාගනිමින් කඩුලු 7 ක පහසු ජයක් ලබා ගත්තේය. එහිදී ‘ඒ’ කාණ්ඩයෙන් පෙරමුණ ගනිමින් අපරාජිතව අවසන් පූර්‍ව වටයට පිවිසීමට ඔවුන් සමත් විය. අවසන් පූර්‍ව තරගය ඓතිහාසික වික්‍රමය ඉන්දියාව දණගැස්වූ හැටි නොවැම්බර් 26 වන දින දෝහාහි වෙස්ට් එන්ඩ් පාර්‍ක් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු අවසන් පූර්‍ව තරගය මුළු තරගාවලියේම උණුසුම්ම තරගය බවට පත්විය. ප්‍රතිවාදීන් වූයේ ඊට පෙර තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පන්දු 53 කදී ලකුණු 204 ක් ලබාගත් ඉන්දීය යොවුන් පිතිකරු වෛභව් සූර්‍යවංශි ඇතුළු ප්‍රබල පිතිකරුවන්ගෙන් සමන්විතවූ ඉන්දීය ‘ඒ’ කණ්ඩායමය. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය ‘ඒ’ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 311 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්‍මාණය කළේය. ඉන්දියාව වෙනුවෙන් අභිෂේක් ෂර්‍මා ලකුණු 78 සහ නායක තිලක් වර්‍මා ලකුණු 53 ක් ලබාගත්හ. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී ජනිත් ලියනගේ ලකුණු 37 කට කඩුලු 2 ක්ද, නිපුන් ධනංජය ලකුණු 41 කට කඩුලු 2 ක්ද, රවිඳු ප්‍රනාන්දු ලකුණු 60 කට කඩුලු 2 ක් බැගින් ද දවා ගත්හ. ලසිත්ගේ සහ සිනෙත්ගේ ශතක සුසංයෝගය ලකුණු 318 ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වූ ලසිත් කෲස්පුල්ලේ සහ සිනෙත් ජයවර්‍ධන ඉන්දීය පන්දු යවන්නන්ට කිසිදු අවස්ථාවක් ලබානොදුන්හ. පළමු පන්දුවාර 10 අවසානයේ කිසිවකු නොදැවී ලකුණු 85 ක් රැස් කළ ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 21 පන්දු 3 කදී ලකුණු 174 ක විශිෂ්ට සබඳතාවක් ගොඩනැඟූහ. සිනෙත් ජයවර්‍ධන ඉතා ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ සිනෙත් පන්දු 62 කින් සිය ශතකය සම්පූර්‍ණ කළේය. හතරේ පහර 10 ක් සහ දැවැන්ත හයේ පහර 6 ක් සමගින් පන්දු 70 කදී ලකුණු 105 ක් රැස් කළ ඔහු තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබීය. ලසිත් කෲස්පුල්ලේ අනෙක් අන්තයෙන් ඉතා පරිණත ඉනිමක් දියත් කළ ලසිත් පන්දු 107 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 116 ක් ලබාගත්තේය. ආරම්භක පිතිකරුවන් දෙදෙනා දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි කඩුලු රකින ක්‍රීඩක නිශාන් මධුෂ්ක පන්දු 55 කින් නොදැවී ලකුණු 58 ක්ද නායක පවන් රත්නායක පන්දු 16 කදී නොදැවී ලකුණු 31 ක්ද ලබාගත්හ. තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 37 කදී ලකුණු 53 ක නොබිඳුණු සබඳතාවක් පැවතීමෙන් තවත් පන්දු 51 ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියහ. ජයග්‍රහණයේ තිරය පිටුපස ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ මෙම අපරාජිත ගමනේ ප්‍රධාන සාධක කිහිපයක් හඳුනාගත හැක. නිර්‍භීත සහ ස්ථාවර පිතිකරණය ඕනෑම ඉලක්කයක් හඹා යෑමට තරම් ආත්ම විශ්වාසයක් මෙම යොවුන් පිතිකරුවන් තුළ දක්නට ලැබුණු අතර, ඉන්දියාවට එරෙහි ලකුණු 318 ක් හඹා යෑමේදී ඔවුන් පවත්වාගත් 7.66 ක දළ ලකුණු වේගය නිසා එක්දින ක්‍රිකට් ක්‍රීඩාවට ශ්‍රී ලංකා යොවුන් පරපුර හැඩගැසී ඇති ආකාරය මනාව පෙන්නුම් කරයි. දෝහා තණතීරුවලට ගැළපෙන දඟ පන්දු බලඇණිය කටාර්‍හි තණතීරුවල ස්වභාවය මැනවින් හඳුනා ගත් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ ප්‍රතිවාදීන් මෙල්ල කිරීමට සමත්වූහ. වමත් දඟ පන්දු යවන ක්‍රීඩක වනුජ සහන් මූලික වටයේ තරග 3 ක් තුළ කඩුලු 7 ක් දවා ගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගත් අතර, පිට දඟ පන්දු යවන ක්‍රීඩක රවිඳු ප්‍රනාන්දු වමත් පිතිකරුවන්ට එරෙහිව තීරණාත්මක කඩුලු ලබා ගනිමින් සිය දායකත්වය ලබාදුන්නේය. මීට අමතරව පා දඟ පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් සහ තුන් ඉරියව් ක්‍රීඩක ජනිත් ලියනගේ මැද පන්දුවාරවලදී පන්දු පාලනය කරමින් ප්‍රතිවාදීන් පීඩානයට පත් කළහ. පවන් රත්නායකගේ නායකත්වය කණ්ඩායමේ නායකයා ලෙස පවන් රත්නායක පිටිය තුළ ගනු ලැබූ තීරණ ඉතා ප්‍රශංසනීය විය. විශේෂයෙන්ම හොංකොං කණ්ඩායම ප්‍රබල ස්ථානයක සිටියදී පන්දු යවන්නන් නිසි ලෙස හසුරවමින් තරගයේ ජයග්‍රහණය කරා මෙහෙයවීම ඔහුගේ නායකත්ව ගුණාංග කැපී පෙණුනු අවස්ථාවකි. ඉදිරි අභියෝගය අවසන් මහා සටන දැන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සිටින්නේ 2026 ආසියානු කුසලාන නැඟී එන තරු ශූරතාවයට තවත් එක් පියවරක් පමණක් පසුපසිනි. 2026 නොවැම්බර් 29 වැනි දින පැවැත්වෙන අවසන් මහා තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වනු ඇත්තේ දෙවන අවසන් පූර්‍ව තරගයෙන් පාකිස්තාන ‘ඒ’ සහ බංග්ලාදේශ ‘ඒ’ අතර ජය ගන්නා කණ්ඩායමයි. මෙම තරගයේදී ක්‍රීඩකයන් පෙන්නුම් කළ දක්ෂතා ඉදිරි ජාත්‍යන්තර තරගාවලි සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට නව ජවයක් එක් කිරීමට සුදුසු ක්‍රීඩකයන් රැසක් සිටින බවට පැහැදිලි සාක්‍ෂියකි. අපරාජිත ගමන ශූරතාවකින් අවසන් කරමින් දිවයිනට ගෞරවයක් ගෙන ඒමට පවන් රත්නායක ඇතුළු තරුණ සිංහ පැටවුන්ට හැකි වනු ඇතැයි සමස්ත ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ගේ ඒකායන පැතුමයි. සුසිල් ජයකොඩි
99mobile