
‘රජරට රයිෆල්ස්’ ආන්දෝලනාත්මක අනාවරණයක්!
FM Heart · 11 min read
★ යාපනයේ ආරක්ෂාව දුර්වල කළ 1983 දේශපාලන-හමුදා නායකත්වය ★ ප්‍රභාකරන්ගෙන් හමුදාපතිට ‘පණිවිඩයක්’ ★ අනාගතය වෙනුවෙන් ඊළාම් යුද්ධය පූර්ණ විමසුමකට ලක් විය යුතු නොවේද? ★ සාලියපුර ඛේදවාචකය දේශපාලන සහ හමුදා නායකත්වය ගනු ලැබූ යම් තීරණ සහ අනුගමනය කළ ක්‍රියාකලාපය හේතුවෙන් දෙමළ බෙදුම්වාදී ත්රස්තවාදයට එරෙහි යුද්ධය දශක තුනක් යනතුරු ජයග්‍රහණය කිරීමට නොහැකි වූ බව සත්‍යයකි. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා හඳුන්වා දුන් 1978 ව්‍යවස්ථාවෙන් පසුව පත්වූ සෑම ආණ්ඩුවක්ම එම තත්ත්වයට අඩු වැඩි වශයෙන් දායක විය. විනාශකාරී ඉන්දියානු ත්‍රස්තවාදී ව්‍යාපෘතිය ආරම්භ වන අවස්ථාවේදී ජනාධිපති ධුරය දැරූ ජයවර්ධනද එම තත්ත්වයට වගකිව යුතුය. ඒ අවස්ථාවේදී බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය (එජාප) 1995 ජනාධිපතිවරණය පරාජය වන විට කොටි ත්‍රස්තවාදී සංවිධානය උතුරු සහ නැගෙනහිර පළාත්වල ශක්තිමත් තත්ත්වයක විය. රණසිංග ප්‍රේමදාස (දෙසැම්බර් 1988-මැයි 1993), ඩිංගිරි බණ්ඩා විජේතුංග (මැයි 1993-නොවැම්බර් 1995) සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග (නොවැම්බර් 1995-නොවැම්බර් 2005) පාලන කාලය තුළ උතුරු සහ නැගෙනහිර පළාත්වල ආරක්ෂක තත්ත්වය දැඩි පිරිහීමකට ලක්වී තිබිණි. කුමාරතුංග ජනාධිපතිවරිය, ත්රස්තවාදීන් සමග කළ ඍජු සාම සාකච්ඡා 1995 අප්‍රේල් මාසයේදී බිඳ වැටුන අතර යුද්ධය නැවත ආරම්භ විය. නමුත් ත්රස්තවාදීන් විශාල නාවික යාත්‍රා දෙකක් සහ ගුවන් යානා දෙකක් 1995 අප්‍රේල් මාසයේදී විනාශ කරමින් යුද්ධය ආරම්භ කළත් එම වසර අවසානයේදී දැඩි පසුබෑමකට ලක්විය. ඒ ආරක්ෂක හමුදා යාපනය නගරය 1995 දෙසැම්බර් මාසයේදී තම පාලනයට නතු කර ගැනීම නිසා බව අමුතුවෙන් කිවයුතු නැත. වසර 1996 මුල් කාලයේදී යාපනය දිස්ත්‍රික්කය සම්පූර්ණයෙන්ම ආරක්ෂක හමුදා යටතට පත්වූ අතර උතුරේ තත්ත්වය යම්තාක් දුරකට ස්ථාවර විය. එම තත්ත්වය වෙනස් වූයේ 1996 ජුලි මාසයේදී මුලතිව් හමුදා කඳවුරු සංකීරණය ත්රස්තවාදීන් විසින් අත්පත් කරගැනීමෙන් පසුවය. එතැන් පටන් ත්රස්තවාදීන් උතුරු භූමියේ තම අණසක පැතිරීමට සමත්විය. මහත් බලාපොරොත්තු සහිතව ආරම්භ කරන ලද ‘ජයසිකුරු’ මෙහෙයුම දරා ගත නොහැකි ජීවිත හානි මධ්‍යයේ නවතා දැමූ අතර ත්රස්තවාදීන් දියත් කළ ප්‍රති-ආක්‍රමණය ආරක්ෂක හමුදා දුර්මුඛ කළේය. පලාලි සහ කන්කසන්තුරේ ගුවන් සහ නාවික හමුදා සැපයුම් මාර්ග සමග ඍජුව ගොඩබිමින් සම්බන්ධ වූ ශක්තිමත් 54 වන සේනාංකය ස්ථානගත කර සිටි අලිමංකඩ කඳවුරු සංකීරණය වසර 2000 අප්‍රේල් මාසයේදී කඩා වැටීම රට දැඩි කම්පනයකට ලක් කළේය. යාපනයේ තත්ත්වය බැරෑරුම් විය. යාපනයෙන් ආරක්ෂක හමුදා ඉවත් කර ගැනීමට පවා යම් අවස්ථාවක ආණ්ඩුව තීරණය කළ බව රහසක් නොවේ. නමුත් එවකට නියෝජය ආරක්ෂක අමාත්‍ය අනුරුද්ධ රත්වත්තේ ඊට එරෙහි විය. යාපනය, පලාලි සහ කන්කසන්තුරේට එල්ලවූ තර්ජනය මැඬපැවැත්වීමට මේජර් ජෙනරාල් ජානක පෙරේරා සහ සරත් ෆොන්සේකා ආරක්ෂක හමුදා මෙහෙයවීය. යාපනයේ තත්ත්වය ස්ථාවර කිරීමට ආරක්ෂක හමුදාවන්ට හැකිවිය. නමුත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ 2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අවස්ථාවේදී කොටි ත්‍රස්තවාදී සංවිධානය ශක්තිමත් ස්ථාවරයක විය. ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) සහයෝගයෙන් එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ 2005 ජනාධිපතිවරණය යන්තමින් ජයග්‍රහණය කර ඔහුගේ පූර්වගාමීන් මෙන්ම කොටි ත්රස්තවාදීන් සමග සුපුරුදු සාකච්ඡා වටයට එක්විය. වසර 2001 පෙබරවාරි මාසයේදී ඇතිකර ගත් බෙදුම්වාදය ශක්තිමත් කළ සටන් විරාම ගිවිසුම සැකසූ නෝර්වේ මැදිහත්වීමෙන් යුරෝපයේ පැවැත්වූ එම සාකච්ඡා අසාර්ථක වූ අතර 2005 අප්‍රේල් මාසයේ එවකට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා යුද හමුදා මූලස්ථානය තුළ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ඝාතනය කිරීමට කළ උත්සාහය සහ ඒ වසරේම ඔක්තෝම්බර් 1 වන දින පිත්තල හන්දියේදී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කර එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරය යුද්ධය සාකච්ඡා මාර්ගයෙන් කිසිසේත්ම විසඳීමට නොහැකි බව අවධාරණය විය. එම ප්‍රහාර දෙක සාර්ථක වූවානම් රාජපක්ෂ ජනාධිපතිවරයා ද ත්රස්තවාදයට යටවන බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. නමුත් රටේ වාසනාවට එම ප්‍රහාර දෙක අසාර්ථක විය. එම ප්‍රහාර දෙක අතරතුර හතරවන ඊළාම් යුද්ධය ඇරඹී තිබූ අතර වසර දෙකක් සහ මාස 10 ක් නොකඩවා ආරක්ෂා හමුදා කළ මෙහෙයුම් හේතුවෙන් 2009 මැයි මාසයේ තුන්වන සතිය වන විට කිසිදා පරාජය කළ නොහැකි බවට පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ සහ ජාත්‍යන්තරය දැඩිව විශ්වාස කළ කොටි සංවිධානය විනාශයට පත්විය. හතරවන ඊළාම් යුද්ධයේදී කළ මෙහෙයුම් ආරක්ෂක හමුදාවන්ට ජීවිත 6,200 අහිමි කළේය. බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටින දෙස් – විදෙස් කණ්ඩායම්වල දායකත්වයෙන් 2026 නොවැම්බර් 21-27 කාලය තුළ උතුරු සහ නැගෙනහිර පළාත්වල පැවැත්වූ ත්‍රස්තවාදී සැමරුම් අවධාරණය කළ අභියෝගයට රට මුහුණ දිය යුතුය. පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහා මැතිවරණයේදී උතුරු සහ නැගෙනහිර පළාත්වල අනපේක්ෂිත දේශපාලන ජයග්රහණයන් ලබා ගත් ජාතික ජනබලවේගය (ජාජබ) උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දී ඇත. කොටි නැටුම් ආණ්ඩුවට දැඩි අභියෝගයකි. නමුත් වර්තමාන උතුරු සහ නැගෙනහිර දේශපාලන වාතාවරණය තුළ ජාජබ ආණ්ඩුව කොටි නැටුම්වලට ඉඩදී ඇත. නමුත් මෙම ලියුම්කරු අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ 1980 දශකයේදී ඉන්දියාව ස්ථාපිත කළ ත්‍රස්තවාදී ව්‍යාපෘතිය පැතිරීමට රටේ පළමුවන විධායක ජනාධිපති, ආරක්ෂක අමාත්‍ය සහ සේනාධිනායක ජේ. ආර්. ජයවර්ධන අනුගමනය කළ අනුවණ ප්‍රතිපත්තිය දායක වූ ආකාරයයි. මෙම ලිපියට පාදක වන්නේ 1980 දශකයේදී ත්රස්තවාදයට මුහුණදීමට ජයවර්ධන ජනධිපතිවරයාගේ නියමයෙන් ස්ථාපිත කරන ලද නමුත් වසර 3 ක් සහ මාස 10 කට පසුව විසිරුවා හරින ලද ‘රජරට රයිෆ්ලස්’ (First Battalion of the Rajarata Rifles) සේවය කළ නිලධාරීන් සහ සෙසු නිලයින් කණ්ඩායමක සාමුහික ප්රයත්නයක ප්‍රතිඵලයක් ලෙස නොවැම්බර් මාසයේ එළිදැක්වූ ‘Beyond the Veil’ කෘතියයි. පිටු 126 කින් සමන්විත එම ආන්දෝලණාත්මක පොත ජයවර්ධන ජනාධිපතිවරයා තම ඥාතියෙකු වූ බ්‍රිගේඩියර් තිස්ස වීරතුංගට යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ පසුව යුද හමුදාපති ලෙස ඔහුට කැමති ආකාරයට කටයුතු කිරීමට අවස්ථාව දීම තුළ උද්ගත වූ තත්ත්වය ත්රස්තවාදයට එරෙහි සමස්ත හමුදාමය ප්‍රතිචාරයට කළ ඉතාමත් අහිතකර බලපෑම අපූරුවට පෙන්වා දී ඇත. ජනාධිපතිවරයා සහ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි/යුද හමුදාපති සංයෝජනය විනාශකාරී විය. ඊට හමුදාව තුළ සහයෝගය දුන් කණ්ඩායමක් බිහිවීම පිළිබඳව පුදුම විය යුතු නැත. එම දුෂ්ට කණ්ඩායමේ බලවන්තයෙකු ලෙස එවකට ලුතිතන් කර්නල් ධුරය දැරූ සන්නාහ සන්නද්ධ බළකායේ සිසිල් වෛද්‍යරත්න නම් කර ඇත. යුද හමුදාවට ජීවිත සිය ගණනක් අහිමි වූ 1993 නොවැම්බර් මාසයේ පූනරින් පරාජයේ වගකීම භාර ගෙන හමුදා ජීවිතයට සමුදුන් වෛද්‍යරත්න සම්බන්ධයෙන් නව කෘතිය එල්ල කර ඇති චෝදනා ප්රබලය. යුද හමුදාපතිවරයා සහ ‘රජරට රයිෆ්ලස්’ විසිරුවා හරින අවස්ථාවේදී (1983 ඔක්තෝම්බර්) එහි පළමුවන බලඇණියේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ වෛද්‍යරත්න සම්බන්ධයෙන් මතුකර ඇති අතිශය ගැටලුකාරී තත්ත්වය නව කෘතිය ප්‍රහාරත්මකව ජනතාව ඉදිරියේ තබා ඇත. අදාළ යුද හමුදා කණ්ඩායමට එලෙස ඉවක් බවක් නොමැතිව කටයුතු කිරීමේ අවස්ථාව ලබා දීමේ ඍජු වරද ජනාධිපතිවරයා පිට පටවා ඇත. ‘රජරට රයිෆල්ස්’ බළඇණියේ කණ්ඩායමක් සාලියපුර කඳවුරේ කැරළි ගැසූ බවට නිරපරාදේ චෝදනා කර එම බලඇණිය විසිරුවා හරින ලද අවස්ථාවේදී දෙවන ලුතිනන්වරයෙකු ලෙස සේවය කළ අණදෙන නිලධාරීයාගේ නොහික්මුණු හැසිරීමට යටත් නොවූ රෝහණ ජයසේකර මෙම කෘතිය මෙම ලියුම්කරුට ලබා දීම හේතුවෙන් කාලයේ වැලිතලාවෙන් යටවී තිබූ අප්‍රසන්න සිද්ධි මාලාවක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට අවස්ථාව උදාවිය. කුමාරතුංග ජනාධිපතිවරියගේ නියමයෙන් අසාධාරණයට ලක්වූ නිලධාරීන් 8 දෙනකුට සහ සෙසු නිලයින් 96 දෙනකුට සාධාරණය ඉටුවිය. ජයසේකර ලුතිනන් කර්නල් (විශ්‍රාමික) ලෙස උසස් කරන ලදී. ඒ වනවිට අදාළ සාලියපුර සිදුවීම සම්බන්ධයෙන් සියලුම වාර්තා යුද හමුදාව විසින් අතුරුදන් කර තිබිණි. පසු කාලයක සාලියපුර ප්‍රසිද්ධ වූයේ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීමට ඉමහත් දායකත්වයක් දැක්වූ ගජබා රෙජිමේන්තුවේ මූලස්ථානය ලෙසයි. විසිරුවාහරින ලද ‘රජරට රයිෆල්ස්’ සේවයෙන් පහ නොකරන ලද කණ්ඩායම සහ විජයබාහු පාබල හමුදාවේ (පළමුවන බළඇණිය) එකතු කර පළමුවන ගජබා බළඇණිය සාලියපුර ස්ථාපිත කිරීම පිළිබඳව මෙම කෘතියේ විශේෂ ස්ථානයක් ඇත. නමුත් මේ කතාව ගජබා විරුවන්ගේ කතාව නොවේ. ‘රජරට රයිෆල්ස්’ බළඇණියට සිදු කළ අසාධාරණය පිළිබඳව විමසීමයි. යුද්ධය ආරම්භයේ සිටම ජයවර්ධන ජනාධිපතිවරයා දැඩි මතභේදයට තුඩු දෙන ස්ථාවරයක සිටි බව සක්සුදක්සේ පැහැදිලිය. ජනාධිපතිවරයා සම්පූර්ණයෙන්ම තම ඥාතියකු වූ වීරතුංග විශ්වාස කර කටයුතු කළ බවට ‘රජරට රයිෆල්ස්’ බළඇණියේ ආරම්භක සාමාජිකයන් කරන චෝදනාව බැහැර කළ නොහැක. මීට පෙර කිසිදු අවස්ථාවක කිසිදු විශ්‍රාමික නිලධාරීන් බළඇණියක් ලෙස තමන්ට සහ තම බළඇණියට /සේනාංකයට සිදුවූ අසාධාරණයකට එරෙහිව මෙවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කර ඇත. ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍ය සහ සේනාධිනායක වශයෙන් වීරතුංග යාපනයේ ආඥාපති ලෙස (ජුලි 13, 1979 සිට දෙසැම්බර් 31, 1979 දක්වා) ත්‍රස්තවාදය එම දිස්ත්‍රික්කය තුළ සම්පූර්ණයෙන්ම නැති කරන ලද බවට කළ ප්‍රකාශය විශ්වාස කිරීමයි. එවකට හමුදාපති වූ මේජර් ජෙනරාල් ඩෙනිස් පෙරේරා එම මතයේ නොසිටියත් වීරතුංග සහ ජයවර්ධන අතර ඇති සම්බන්ධතාවය හේතුවෙන් ඔහුට නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට සිදුවිය. ‘රජරට රයිෆල්ස්’ කෘතිය එවැනි තත්ත්වයක් ඇතිවීමට ඍජු හේතු 28 වන පරිච්ඡේදයේ අවධාරණය කර ඇත. මෙම ලියුම්කරු දැනට ඉංග්‍රීසියෙන් පමණක් පල කර ඇති මෙම කෘතිය සිංහලෙන් ප්‍රකාශයට පත් කිරීමේ දැඩි අවශ්‍යතාවය ජයසේකරට පෙන්වා දුන් අතර ඉතිහාසය නිවැරදිව වාර්තා කිරීමේ වටිනාකමද අවධාරණය කරන ලදී. ඊළාම් යුද්ධය පිළිබඳව බොහෝ පොත් ප්‍රකාශයට පත් කර ඇතත් ‘රජරට රයිෆල්ස්’ කතාව සවිස්තරාත්මකව ජනතාව ඉදිරියේ තබා නැත. යාපනයේ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම පාලනය කළ බවට තම දෙවෙනියා කළ ප්‍රකාශය භූමියේ යථාර්ථය නොවන බව යුද හමුදාපති ඩෙනිස් පෙරේරා අවධාරණය කළේය. ‘රජරට රයිෆල්ස්’ කෘතිය කුඩා වුවත් එය හෙළිදරව් කළ සත්‍යය අප්රසන්නය. ජනාධිපතිවරයා තම ඥාතියා විශ්වාස කර කටයුතු කළත් හමුදාපතිවරයා පෙන්වා දුන් නරක අතට හැරෙමින් පවතින තත්ත්වය නොසලකා හැරීමට ඔහුට නොහැකි විය. අකමැත්තෙන් හෝ හමුදාපතිවරයා නිර්දේශ කළ පරිදි නව බළඇණි හයක් ස්ථාපිත කිරීමට අවසර දුන්නේය. එම බළඇණි හයෙන් දෙකක් නිත්‍ය වූ අතර ඉතිරි හතර ස්වෙච්ඡා විය. ඒ වන විට යුද හමුදාව නිත්‍ය පාබල බළඇණි 3 කින් (ශ්‍රී ලංකා පාබල හමුදාව, සිංහ රෙජිමේන්තුව සහ ගැමුණු හේවා බළකාය) සමන්විත විය. ශ්‍රී ලංකා පාබල හමුදාවට එක ස්වේච්ඡා බළඇණියක් තිබූ අතර සිංහ සහ ගැමුණු ස්වේච්ඡා බළඇණි දෙක බැගින් විය. හමුදාපතිවරයා ආරම්භ කළ වැඩසටහන ඔහු 1981 ඔක්තෝම්බර් මාසයේ විශ්‍රාම ගිය පසුව අභියෝගයට ලක්විය. හමුදාපතිවරයා විසින් තම විශ්‍රාම යෑමෙන් පසුව එම තනතුරට පත්වීමට යෝජනා කළ බ්‍රිගේඩියර් ජස්ටස් රොඩ්රිගෝ ගම්පහ දිසාපතිවරයා ලෙස නම් කළ ජනාධිපති ජයවර්ධන වීරතුංග මේජර් ජෙනරාල් ධුරයට උසස් කර හමුදාපති ලෙස පත් කිරීම සිදුවිය. ඒ 1981 ඔක්තෝම්බර් 14 වන දිනය. නව හමුදාපතිවරයා පත්වීම ලබා පැය 24 ක් යෑමට පෙර කොටි ත්රස්තවාදීන් පළමුවන හමුදා සෙබළා යාපනය ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථා පරිශ්‍රයේ ඝාතනය කළේය. තවත් හමුදා සාමාජිකයකු වෙඩි තබා තුවාල සිදු කළේය. ත්‍රස්තවාදය යාපනයෙන් මුලිනුපුටා දැමූ බවට වීරතුංග යාපනය ආඥාපති සහ යුද හමුදා ප්‍රධානි මාණ්ඩලික නිලධාරියා ලෙස 1979 දෙසැම්බර් මාසයේ කළ ප්‍රකාශයට එම ප්‍රහාරය පිළිතුරක් විය. ආණ්ඩුව තිගැස්සිණි. නමුත් දේශපාලන සහ යුද හමුදා නායකත්වය වර්ධනය වෙමින් තිබූ ත්‍රස්තවාදී තර්ජනය පිළිබඳව නිවැරදි තීන්දු තීරණ යම් අවස්ථාවලදී නොගත් බව පැහැදිලිය. ඊට දිය හැකි හොඳ උදාහරණය ජයවර්ධන ජනාධිපතිවරයා 1983 මැයි 18 වන දින යාපනය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ඡන්දය පැවැත්වීමට නියම කර තිබියදී යුද හමුදාපතිවරයා ඒ මාසයේදීම හමුදා ප්‍රදර්ශනයක් (Search Light Tattoo) කොළඹ පැවැත්වීමට නියම කිරීමයි. සෑම පාබල හමුදා බල ඇණියකටම කණ්ඩායම බැගින් දින පහක් පුරා පැවැත්වීමට නියමිත සංදර්ශනයට සහභාගි වීමට නියම විය. වසර 1982 පැවැත්වූ ජනාධිපතිවරණයේදී සහ ජනමත විචාරණයේදී මෙන්ම යාපනය දිස්ත්‍රික්කයේ සියලුම ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව මැයි 18 පළාත් පාලන ඡන්දයේදී ද යුද හමුදාව විසින් සැපයිය යුතු බවට රජය තීරණය කර තිබියදී හමුදා ප්‍රදර්ශනයක් කොළඹ පැවැත්වීමට තීරණය කළ පුද්ගලයා කවුරුද? කවුරු එම තීරණය ගනු ලැබූවත් ඊට ජනාධිපතිවරයාගේ ආශිර්වාදය තිබූ බවට කිසිදු සැකයක් නැත. ත්රස්තවාදීන් එල්ල කළ අභියෝගය හමුවේ තමන්ට පැවරී ඇති රාජකාරිය ඉටු කිරීමට අවශ්‍ය පිරිස් බලය හමුදා සංදර්ශන හේතුවෙන් අහිමි වන බව රජරට රයිෆල්ස්’ බලඇණිය යුද හමුදා මූලස්ථානය දැනුවත් කළ අතර අවම වශයෙන් හමුදා සංදර්ශනයට අනුයුක්ත කර සිටි කණ්ඩායමෙන් කොටසක් නැවත කැඳවීමට අවසර පැතූ බව කෘතිය අවධාරණය කර ඇත. සැනෙකින් එම සාධාරණ ඉල්ලීම (අනතුරු ඇඟවීමක් ලෙස සඳහන් කළත් වරදක් නැත) ප්‍රතික්ෂේප කළ අතර සාලියපුර ඒ අවස්ථාවේ සිටි පුද්ගලයන් යාපනයට යොමු කිරීමට නියෝග නිකුත් විය. ත්‍රස්තවාදී තර්ජනයට මුහුණ දීමට අවශ්‍ය සටන් පුහුණුව අවශ්‍ය ප්‍රමාණයෙන් ලබා තිබූ පුද්ගලයන් සාලියපුර නොසිටි අතර යුද හමුදා මූලස්ථානයේ බල කිරීම මත පාබළ හමුදා ඛණ්ඩ (platoon) දෙකක් යාපනයට පිටත් කළ බව කෘතිය අවධාරණය කර ඇත. එම ඛණ්ඩ (platoon) දෙකේ නායකත්වය යුද හමුදා කෝකියෙකු සහ සාලියපුර ගබඩා භාරව සිටි අධිකාරය නොලත් නිලධාරිකුට හිමිවිය. ඊට එහා ඒ සම්බන්ධයෙන් කීමට දෙයක් අවශ්‍ය නැත. නමුත් 1983 මැයි 18 ඡන්දයට ආරක්ෂාව දුන් මෙහෙයුම කෙලවර වූයේ ත්රස්තවාදීන් විසින් ඡන්ද මධ්‍යස්ථානයකට ප්‍රහාරයක් එල්ල කර ‘රජරට රයිෆල්ස්’ සාමාන්‍ය සෙබළෙකු මර දැමීමෙනි. ඒ අවස්ථාවේ යාපනයට විශේෂ රාජකාරි සඳහා කැඳවා තිබූ සෙබළුන්ගෙන් කොටසක් සිවිල් ජනතාවට පහර දී දේපළ විනාශ කළ අතර ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වනු වෙනුවට සම්පූර්ණ වරද ‘රජරට රයිෆල්ස්’ බළඇණිය මත පැටවීම තුළ සාලියපුර සිද්ධීන් ඇතිවිය. ‘රජරට රයිෆල්ස්’ බළඇණිය සමග දීර්ඝකාලීන කෝන්තරයක් තිබූ ඉහළ හමුදා නිලධාරියෙකු වූ එවකට කර්නල් හර්ෂ ගුණරත්න පරීක්ෂණ මණ්ඩලයේ ප්‍රධානියා ලෙස පත් කිරීම සහ හදිසි තත්ත්වය යටතේ වෛද්‍යරත්න යටතට ‘රජරට රයිෆල්ස්’ පත්කිරීම ප්රශ්නකාරී බව පෙන්වා දිය යුතුය. පරීක්ෂණ මණ්ඩලයේ වගකීම වූයේ සැබෑ ප්රශ්නය යටපත් කිරීම බව ආන්දෝලනාත්මක කෘතිය අවධාරණය කර ඇති අතර අවසානයේ රටට ඉදිරිපත් කර ඇති ප්රශ්නය ගැඹුරින් විග්රහ කළ යුතුය. යුද හමුදා නායකත්වය 1983 මැයි 18 වන දින යාපනයේ ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් අවංක පරීක්ෂණයක් කර එම සිදුවීම් සම්බන්ධයෙන් යාපනය භාර ආරක්ෂක හමුදා නායකත්වයේ වගකීම සහ වගවීම නිසි ලෙස හඳුනා ගනු ලබුවේ නම් 1983 කළු ජූලිය වළක්වාගත හැකිව තිබුණේද? හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද ‘රජරට රයිෆල්ස්’ බළඇණියේ ආරම්භක සාමාජිකයෙකි. මා මිත්‍ර සී. ඒ. චන්ද්‍රප්‍රේම ලිවූ ‘Gota zs War’ සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ලිවූ ‘Road to Nandikadal’ කෘතියේද සාලියපුර ‘කැරැල්ල’ සම්බන්ධයෙන් සඳහන් කර ඇත. නමුත් ‘Beyond the Veil’ එම සිද්ධිය පදනම් කර දැනට ප්‍රකාශයට පත් කර ඇති එකම කෘතියයි. අප රටේ ජයග්‍රාහී යුද ඉතිහාසය උනන්දුවක් දක්වන ඕනෑම අයෙකු මෙම කෘතිය කියවීමට කැමති වීම පුදුමයක් නොවේ. විශේෂයෙන් විශ්‍රාමික සහ දැනට සේවය කරන ආරක්ෂා හමුදා නිලධාරීන් මෙම අඳුරු අතීතය පිළිබඳව දැනගත යුතු නොවේද? ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

