FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

නැගෙනහිර ජැටිය විකුණන්නේ නෑ.. ආයෝජන කැඳවනවා..- ඇමති වසන්ත

FM Heart · 2 min read

The Heart Academy
ස්වර්‍ණවාහිනී නාලිකාවේ ‘රතුඉර’ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. නැගෙනහිර ජැටියේ ඉතිරි කොටස් ඉදිකිරීමට සහ ගැන්ට්‍රි දොඹකර ඇතුළු නවීන යන්ත්‍ර සූත්‍ර ස්ථාපිත කිරීම සඳහා තවදුරටත් ඇමරිකානු ඩොලර් මිලියන 600ත් 700ත් අතර ආයෝජනයක් අවශ්‍ය වන බව ඔහු පෙන්වා දුන්නේය. දැනට ලොව කාර්‍යබහුලම වරායන් අතර 20 වැනි ස්ථානයේ පසුවන කොළඹ වරායේ ගැඹුරු මුහුදේ නැව් පැමිණිය හැකි ප්‍රධාන ජැටිය මෙය බැවින්, මහා පරිමාණ නැව් සමාගම් සමඟ ගනුදෙනු කරන ප්‍රබල මෙහෙයුම්කරුවෙකුගේ සහාය ඇතිව ජැටිය සංවර්‍ධනය කිරීමෙන් එහි ධාරිතාව මිලියන 1.5 ඉක්මවා වර්‍ධනය කරගත හැකි බව අමාත්‍යවරයා පැවසීය. පසුගිය රජය සමයේ අදානි සමාගමට ජැටිය ලබා දීමට ගත් උත්සාහයට එරෙහි වූයේ මන්දැයි වැඩසටහනේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සමරසිංහ මහතා කියා සිටියේ, හම්බන්තොට වරාය 99 අවුරුදු බද්දට දී රටට සියයට 15ක අයිතියක් පමණක් ඉතිරි කළ ආකාරයෙන්ම එදා නැගෙනහිර ජැටිය ද සම්පූර්‍ණයෙන්ම විකුණා දැමීමට හෝ යළි ලබාගත නොහැකි ලෙස පවරා දීමට උත්සාහ කළ බවයි. එහෙත් වත්මන් රජය සිදු කරන්නේ වරාය අධිකාරියේ අයිතිය, ගාස්තු සහ ආදායම් එලෙසම සුරක්ෂිත කරමින් මෙහෙයුම් කටයුතු සඳහා පමණක් ආයෝජන අභිලාෂයන් කැඳවීම බව ඔහු අවධාරණය කළේය. 2029 වසරේදී SAGT ජැටියේ බදු කාලය අවසන් වීමත් සමඟ එහි අයිතිය ද රජයට හිමිවන බවත්, එම ගිවිසුම දීර්‍ඝ කිරීමේ කිසිදු සැලසුමක් නොමැති බවත් අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය. එමෙන්ම නැගෙනහිර ජැටියේ මෙහෙයුම් සඳහා එක්වන ආයෝජකයා හරහා ඊට යාබදව ඉදිකිරීමට නියමිත දැවැන්ත West Port සංවර්‍ධනය කිරීම සඳහා ද අවශ්‍ය ආයෝජන කැඳවා ගැනීම රජයේ මීළඟ ඉලක්කය බව ඔහු සඳහන් කළේය. රටේ අපනයන ආදායම, ආර්‍ථික වර්‍ධනය සහ රැකියා අවස්ථා ඉහළ නැංවීමට නම් මෙම සම්පත් නිකරුණේ තබා නොගෙන රටේ අනන්‍යතාව හා අයිතිය සුරක්ෂිත වන පරිදි දැවැන්ත ආයෝජන ගෙන ආ යුතු බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
99mobile