
වැඩි වුණොත් රටට බරක්! නැති වුණොත් මෝලට සැපක්! හාල්
FM Heart · 5 min read
2026 නොවැම්බර් මස 29 වැනිදා ඉරිදා නූතන ආර්ථික විද්‍යාවේ සියලු සිද්ධාන්ත උඩු යටිකුරු කරන ඓතිහාසික සොයා ගැනීමක් කෘෂිකර්ම අමාත්‍ය ගරු ලාල්කාන්ත සොයා ගෙන තිබේ. “කවුරු අකමැති වුණත්, කැමති වුණත් දැනට වගා කරන කුඹුරු වලින් තුනෙන් එකක්වත් වී වගාව නතර කරන්න වෙනවාමයි” මේ කතාව ලාල්කාන්ත ඇමැතිවරයා කියන්නේ පොළොන්නරුවේ “සුපිරි වී යාය” ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමිනි. ඉතා හොඳය. ලාල්කාන්ත ඇමැතිවරයා මේ ප්‍රකාශය කරන්නේ ජනතාව අයවැය ගැන නිතර දෙවේලේ බරපතළ විවේචනයක් එල්ල කරන අතරවාරයේය. බොහෝ ආණ්ඩු සිතාසිටියේ මේ රටේ ජනතාව බත් වෙනුවට තණකොළ බුදින බවය. ඒ නිසාම ඕනෑම තක්කඩි වැඩක් කරන්නට ඒ ආණ්ඩු දෙපාරක් සිතුවේ නැත. ලාල්කාන්ත ඇමැතිවරයා එම සිතුවිල්ලෙන් ඔබ්බට ගොස් ජනතාවට තණකොළ කවන්නටම උත්සාහ දරන බවක් පෙනේ. සාමාන්‍යයෙන් රටක ප්‍රධාන ආහාරයේ නිෂ්පාදනය ඉහළ යනවිට සිදුවන්නේ පාරිභෝගිකයාට සහන මිලට ආහාර ලැබීම, අතිරික්තය අපනයනය කර විදේශ විනිමය ඉපයීම හෝ වෙනත් අතුරු ආහාර නිෂ්පාදන සඳහා ඒවා යොදා ගැනීමය. එහෙත් ලාල්කාන්තගේ නව ආර්ථික න්‍යාය අනුව අතිරික්තයක් තිබේ නම් වහාම කුඹුරු වලින් 1/3ක වී වගාව නතර කළ යුතුය. රටේ ජනතාව මේ වනවිට හාල් මිලදී ගන්නේ ශ්‍රී ලංකාවෙන් ද නැත්නම් වෙනත් ග්රහලෝකයකින් ද යන්න ලාල්කාන්ත ඇමැතිවරයා පැහැදිලි කළ යුතුය. රටේ වී අතිරික්තයක් ඇතැයි ලාල්කාන්ත කියන්නේ පාරිභෝගිකයා කඩපිලට ගොස් සහල් මිලදී ගන්නට කැට කඩන පසුබිමකය. ඒ කතාවලට ලාල්කාන්ත ඇමැතිවරයා අතීතයේ එකතු කළ කැට කැඩෙන්නේ නැතිවීම වෙනම කතාවකි. නිෂ්පාදයත් වැඩිනම්, අතිරික්තයක් ද නිර්මාණය වී තිබේ නම් පාරිභෝගිකයා බත් අමතක කර දමන්නට උත්සාහ දරන්නේ ඇයි? පාරිභෝගිකයාට අඩු මිලට හාල් නොලැබෙන්නේ ඇයි? ලාල්කාන්ත ඇමැතිවරයාම ඒ පැනයට ද පිළිතුරු දී තිබේ. “වී අලෙවි මණ්ඩලය සතුව ඇති වී තොග වෙළෙඳපොළට දැම්මොත් වී මිල තවත් වැටෙනවා, හාල් මිලත් වැටෙනවා, හාල් මිලත් ඕනෑවට වඩා වට්ටන්න බෑ.” අපට අනුව මෙය තක්කඩි කතාවකි. අතිරික්තයේ සැබෑ රහස එළියට පනින්නේ එතැනිනි. පාරිභෝගිකයාට සහල් මිල වැඩි වුව ද, ආණ්ඩුවට අනුව “හාල් මිල ඕනෑවට වඩා වට්ටන්න බැරිය” මෙය කාගේ වුවමනාවක් ද? අප කිසි විටෙකත් මෙය ආණ්ඩුවේ වුවමනාවක් ලෙස පිළිගන්නට සූදානම් නැත. මෙය වී ගොවියාගේ වුවමනාවක් ්ද? එසේ නැතහොත් මෝල් හිමියන්ගේ වුවමනාවක් ද යන්න ලාල්කාන්ත ප්රමුඛ ආණ්ඩුව අපට පැහැදිලි කළ යුතුය. ශ්‍රී ලංකා මහ බැංකුවේ හා ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2023 වර්ෂයේදී මෙරට සමස්ත වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 4.51ක් වූ අතර, 2024 වර්ෂයේදී එය මෙට්‍රික් ටොන් මිලියන 4.70 දක්වා වර්ධනය වී තිබිණි. 2024/2025 මහ කන්නයේදී පමණක් මෙට්‍රික් ටොන් මිලියන 2.62ක පමණ අස්වැන්නක් අපේක්ෂා කෙරුණු අතර වාර්ෂිකව මෙරට වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 4.7ත් 5ත් අතර සීමාවක පවතී. එතරම් දැවැන්ත වී අස්වැන්නක් රට තුළ නිෂ්පාදනය වන පසුබිමක රාජ්‍ය යාන්ත්‍රණය හරහා වී මිලදී ගැනීමේ ධාරිතාව ඇඟ ලොමුඩැහැගන්වන සුළුය. පසුගිය වර්ෂ කිහිපය තුළම වී අලෙවි මණ්ඩලයට මිලදී ගැනීමට හැකියාව ලැබී ඇත්තේ සමස්ත අස්වැන්නෙන් සොච්චමකි. උදාහරණයක් ලෙස 2024 යල කන්නයේදී වී මිලදී ගැනීම සඳහා රජය වී අලෙවි මණ්ඩලයට වෙන් කළේ රුපියල් මිලියන 500ක් වැනි සුළු මුදලකි. පසුගිය කන්නවලදී රුපියල් බිලියන ගණන් වෙන් කළ බවට පාරම්බෑ නමුත්, 2026 වසරේ මෑතකාලීන දත්තවලට අනුව පවා වී අලෙවි මණ්ඩලයට මිලදී ගත හැකි වී ඇත්තේ මෙට්‍රික් ටොන් 65,000කටත් අඩු ප්රමාණයකි. එනම් රටේ වාර්ෂික වී නිෂ්පාදනය වන මෙට්‍රික් ටොන් මිලියන 4.7කින් වී අලෙවි මණ්ඩලය මිලදී ගන්නේ 1.5%කටත් වඩා අඩු ප්රමාණයකි. එසේනම් ඉතිරි 98.5%ක වී මිලදී ගන්නේ කවරෙක් ද යන්න කිසිවකුටත් රහසක් නොවේ. ඉතිං අපට සිතන්නට වන්නේ වී අලෙවි මණ්ඩලය සතුව තිබෙන පෙර කී මෙට්‍රික් ටොන් 65,000 වෙළෙඳපොළට දැම්මොත් වී මිල වැටෙන බවට අමාත්‍යවරයාගේ බිය සාධාරණ බවය. ඒ සැබෑ ලෙසම වෙළෙඳපොළ පාලනය කරන මහා පරිමාණ මෝල්ලුන්ගේ ලාබ ආන්තිකයන්ට ලෙඩක් වැටෙන නිසා බව ද අපට උපකල්පනය කරන්නට සිදු වේ. අනෙක් අතට අපේ රටේ සැබෑ අතිරික්තයක් තිබේ නම් ඒ සඳහා ගත හැකි ප්‍රැක්ටිකල් වැඩ ඕනෑ තරම් තිබේ. ඇමැතිවරයාම කියන පරිදි “සුපිරි වී යාය” වැඩසටහනේදී හෙක්ටයාරයකින් මෙට්‍රික් ටොන් 10ක ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකි නම් එය ජාතික ජයග්‍රහණයක් ලෙස සලකමින් එම අතිරික්තය විදේශ වෙළෙඳපොළට යැවීමට රජය මැදිහත් විය යුතුය. අතිරික්තය කළමනාකරණය කර ගැනීමට නොහැකි නිසා කුඹුරුවලින් තුනෙන් එකක වී වගාව නැති කිරීම දරුවා පාසලේ ගණිතයට අසමත් නිසා පාසල් ගමන නතර කරන අන්දමේ තකතීරු තීන්දුවකි. මෝල් හිමියන්ට එරෙහිව මහ හඬක් නැගූ අයම, ඒ අයට බෝනස් ලැබෙන පරිදි තීන්දු ගැනීම උත්ප්රාසයට කාරණයකි. අතිරේක බෝග වගා සංකල්පයට යොමුවීම ගැන අපිදු කැමැත්තෙන් පසුවෙමු. එහෙත් බලහත්කාරයෙන් වී වගාව නතර කිරීම යනු අමන තීන්දුවකි. “පෙරදිග ධාන්‍යාගාරය” යනු වී පමණක් තිබුණු තැනක් නොව ධාන්‍ය වර්ග රැසක් තිබූ තැනක් යැයි අමාත්‍යවරයා කියා තිබේ. ඔව්! එය ඇත්තකි. එහෙත් ඒ ධාන්‍ය වර්ග වැව්වේ කුඹුරු වසා දමා නොවන බව අමතක නොකළ යුතුය. අද සිදුව ඇත්තේ අතිරික්තය ගැන අසමින් ගිනි ගණනට හාල් ගැනීමය. නැතහොත් වේලක් දෙකක් අමතක කිරීමය. මේ යන හැටියට ඉතිරි වන කුඹුරු තුනෙන් දෙකෙන් (2/3) ලැබෙන හාල් නොව පිටරටින් හාල් ගෙන්වන්නට සිදුවනු ඇත. එදාටත් රටේ ආර්ථිකය බේරගන්නට තවත් තුනෙන් එකක් නතර නොකරනු ඇතැයි අපි සිතමු. අපි ලාල්කාන්ත ඇමැතිවරයාගෙන් දෙවියන්ගේ හාල් කැවිලද? අමු කැවිලද? කියා අසන්නේ නැත.

