
රාජ්‍ය සේවා වැඩ වර්ජනය හෙට
FM Heart · 3 min read
2027 අය – වැයෙන් පොරොන්දු වූ සහන ලබානොදීමට විරෝධය පළ කරමින් සහ රුපියල් 25,000ක ජීවන වියදම් දීමනාවක් ලබාදෙන ලෙස රජයට බලකරමින්, රාජ්‍ය, අර්ධ රාජ්‍ය සේවාවල වෘත්තිකයන් රැසක් හෙට (30දා) අසනීප නිවාඩු වාර්තා කරමින් දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර ඇත. එමෙන්ම අනිද්දා (01දා) රටපුරා විරෝධතා දැක්වීමට ද වෘත්තීය සමිති බොහොමයක් පෙරේදා (27දා) වනවිට තීරණය කර තිබිණි. මේ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය, සමගි ඒකාබද්ධ වෘත්තීය සන්ධානය, ලංකා ගුරු සංගමය, විදුහල්පති ශ්‍රේණිධාරී සංගමය, ඒකාබද්ධ ගුරු සේවා සංගමය, රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා කළමනාකරණ සේවා සංගමය, රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සන්ධානය, සමස්ත ලංකා ප්රගතිශීලී සමෘද්ධි සංවර්ධන නිලධාරි සංගමය, රාජ්‍ය පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සංගමය ඇතුළු වෘත්තීය සංගම් රැසක් අසනීප නිවාඩු වාර්තා කරමින් සහ විරෝධතා දක්වමින් 30දා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට සහාය දැක්වීමට තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනඅරගල ව්‍යාපාරයේ කැඳවුම්කරු දුමින්ද නාගමුව මහතා:- “30 දා වැඩවර්ජනය ස්ථීරයි. 2027 අයවැයෙන් පොරොන්දු කඩකිරීම වගේම, මේ පවතින ජීවන වියදමට සරිලන ලෙස රුපියල් 25,000ක අතුරු දීමනාවක් ලබාදීම කාලෝචිතයි. ජනාධිපතිවරයා තමන්ට හිතවත් වෘත්තීය සමිති සහ සාමාජිකයන් පිනවා අත්පොළසන් නැගීමෙන් රටේ සමස්ත වෘත්තිකයන්ගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මේ ආරම්භයක් විතරයි.” වෘත්තීය සමිති සහ වෘත්තිකයන්ගේ ජාතික සම්මේලනයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා:- “අපි හෙට දීපව්‍යාප්ත වර්ජනයකට පමණක් නොවෙයි, අනිද්දා (01දා) ජීවන වියදමට සරිලන ලෙස රුපියල් 25,000ක් ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුව අසල පොල්දූව මංසන්ධියේ විරෝධතාවකද නිරත වෙනවා. අපි පොල්දූව මංසන්ධියට වෘත්තීය සමිතිවලට එන්න කියලා ආරාධනා කරනවා. විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා:- “ජීවන වියදමට සරිලන ලෙස 25,000 ක් ලබාදීම, අතිකාල සේවා සහ අතිකාල ගෙවීම් විධිමත් කිරීම් ඇතුළු ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් තමයි අපි මේ වැඩවර්ජනයට සහ විරෝධතාවන්ට එක්වෙන්නේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය යූ. කේ. බී. වරකාගොඩ මහතා:- “කප්පාදු කළ වැටුප් දීමනා, 2025 සිට අත්හිටුවා ඇති අමතර රාජකාරි සහ නිවාඩු දින දීමනා, ඩැට් දීමනාව, දේශීය ආදායම් පනතේ ප්‍රතිපාදනවලට අනුව බදුවලින් නිදහස් කිරීම, 2018 වර්ෂයේ අනුමත කරන ලද නමුත් පූර්ණ වශයෙන් නොගෙවූ ‘ඩැට්’ දීමනාව සම්පූර්ණයෙන් ගෙවීම ඇතුළු ඉල්ලීම් රැසක් අපි අය වැයට පෙර රජයට ඉදිරිපත් කළා. ජනාධිපතිවරයා, අගමැතිවරිය, සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු බලධාරීන් දැනුවත් කළා. කිසිදු විසඳුමක් නැහැ. මේ පිළිබඳව අපි අවසානයේ ආගමික නායකයන්, විරුද්ධ පක්ෂ දේශපාලකයන් සහ මහජනතාව ද දැනුවත් කළා. වර්ජනය නොකළත් අපි මෙම සමස්ත විරෝධතාවයට සහාය ලබාදීමට තීරණය කළා. සුජීව තත්සර

