FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

තාර නැතිව ළත නොවී පාර හදන විදිහ

FM Heart · 8 min read

The Heart Academy
2027 අයවැය මගින් ප්‍රවාහන මහමාර්‍ග හා නාගරික සංවර්‍ධන අමාත්‍යාංශය වෙත රුපියල් බිලියන 487ක මුදලක් වෙන්කර තිබේ. 2026 වර්‍ෂයේ පෙර අමාත්‍යාංශයන් වෙත වෙන් කරන ලද මුදල් වලින් මේ වනවිට වැය කිරීමට සිදුව තිබෙන්නේ 40%-50%ත් අතර ප්‍රමාණයකි. විශේෂයෙන් මෙහිදී මාර්‍ග ඉදිකිරීම් හා නඩත්තුව මෙන්ම අධිවේගී මාර්‍ගවලට වෙන් කරන ලද මුදල් වියදම් කිරීමට ප්‍රධානතම බාධාව වී තිබෙන්නේ ඒ සඳහා අවශ්‍යය තාර (Bitumen) නිසි පරිදි සපයා ගැනීමට නොහැකි වීමයි. මේ සම්බන්ධයෙන් නොබෝදා පැවැති පාර්‍ලිමේන්තුවේ මාර්‍ග හා නාගරික සංවර්‍ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අදාළ නිලධාරීන් සමග සාකච්ඡාවට ගැනිණි. ඒ අනුව ශ්‍රී ලංකාවේ මාර්‍ග සඳහා වඩාත් ගැළපෙන තාර සංයුතීන් සැපයීම සඳහා පසුගිය කාලයේ කටයුතු කර තිබුණේ ප්‍රධාන ආනයනකරු වූ ඉරානයෙනි. මැදපෙරදිග අර්‍බුදය සහ හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව හටගත් නාවික බාධා හේතුවෙන් 2026 මාර්‍තු මස සිට මෙම තාර සැපයුම සම්පූර්‍ණයෙන්ම අඩාළ වී ඇති අතර, දිවයින පුරා ප්‍රාදේශීය මාර්‍ග නඩත්තුවේ සිට අධිවේගී මාර්‍ගයන් ඉදිකිරීමේ ව්‍යාපෘති අඩාළ වීමට එම හේතුව බලපා ඇති බව එහිදී අනාවරණය විය. වර්‍තමානය වනවිට මෙට්‍රික් ටොන් 40,000කට ආසන්න ප්‍රමාණයක් තාර(Bitumen) අවශ්‍යතාවකින් පෙළෙන අතර, ඕමානය, චීනය ආදී නව සැපයුම්කරුවන්ගෙන් එම අවශ්‍යතාවය සම්පූර්‍ණ කර ගැනීමට කටයුතු කරමින් පවතින බව අමාත්‍යංශ නිලධාරීන් ප්‍රකාශ කළේය. එවැනි පසුබිමක ශ්‍රී ලංකා මහ බැංකුවේ 2026 සැප්තැම්බර් PMI (Purchasing Managers Index) වාර්‍තාවට අනුව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්‍ධනය 57.8 දක්වා මන්දගාමී වීමට ප්‍රධානතම හේතුව තාර හිඟය ලෙස ද තොරතුරු තහවුරු කර ඇත. ශ්‍රී ලංකා රේගුවේ නිල වෙළඳ සංඛ්‍යාලේඛනවල HS Code 2713.20 (Petroleum bitumen) සහ HS Code 2715.00 (Bituminous mixture) යන කාණ්ඩ ඔස්සේ ආනයනය කරනු ලබන්නේ තාර වලට අදාළ සංයෝග වන අතර ඒ සඳහා 2024 හා 2025 වර්‍ෂවල ඇමරිකානු ඩොලර් මිලියන 70ක් පමණ වැය කර තිබේ. ඒ අනුව මේ “තාර” මගින් අප රටේ ආර්‍ථිකයට හා සංවර්‍ධනයට සිදුවන බලපෑම අවධාරණාත්මක කොට සැලකිය යුත්තකි. එමෙන්ම ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමෙන් සිදුවන දේශගුණික විපර්‍යාසයන් හා ඒවායේ බලපෑම් මත එල්ලවන අභියෝගයන් ජයගැනීම ද තීරණාත්මක සංධිස්ථානයකට පැමිණ ඇති යුගයකට අප සැම අවතීර්‍ණ වී තිබේ. එබැවින් මෙකී විෂය සංකල්ප සලකා බැලීම කාලීන අවශ්‍යතාවකි. තාර පාර අපි හිතුවාට වඩා රස්නෙය. එය උෂ්ණත්වය අධික ලෙස දරාගැනීමට නොහැකිවීම මගින් උද්ගතවන තාප අර්‍බුද රැසකින් බැට කන අගනගරයට මෙන්ම දීපව්‍යාප්තව ප්‍රධාන මහමාර්‍ග අසල ජීවත්වන නාගරික ජනකොටස්වලට ද , ක්‍රමයෙන් ග්‍රාමීය මට්ටම සඳහා ද බලපෑමෙන් ව්‍යාප්ත වන්නකි. චක්‍රීය ආර්‍ථිකයකින් ලැබෙන තිරසාර පාරිසරික සහ ආර්‍ථික විසඳුමක් පිළිබඳ සාකච්ඡා කිරීම සමකාලීන අවශ්‍යතාවක් බවට පත්වූයේ අද ඊයෙක නොවේ. නමුත් ඊට ගැළපෙන හා උචිත විසඳුම් යෝජනා කොට මහපොළොවේ සතුටුදායක ලෙස ක්‍රියාත්මක කිරීම නම් සිදුවන්නේ මන්දගාමීවය. එමෙන්ම පවත්නා පැලැස්තර වර්‍ගයේ පිළියම්, සුදුසු පරිදි නව්‍යකරණයකින් ඉදිරිපත් නොවීම ද අප රට සංවර්‍ධනය සඳහා යන ගමනට බාධාකාරී තත්ත්වයන් ඇතිවීමට ඍජුව හා වක්‍රව බලපානු ලැබේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර කලාපයන්හි දිනපතා ගමන් ගන්නා ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට සහ එළිමහන් ශ්‍රමිකයන්ට පාරේ ගමන් කිරීම දැඩි අසහනකාරී අත්දැකීමක් බවට පත්ව තිබේ. ඉහළ යන දේශගුණික විපර්‍යාස හමුවේ නාගරික පරිසරය තුළ උෂ්ණත්වය අධික ලෙස ඉහළ යෑමට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ සාම්ප්‍රදායික තාර (Bitumen/Asphalt) යෙදූ මාර්‍ග පද්ධතියයි. සූර්‍ය තාපයෙන් 80% සිට 95% දක්වා අති දැවැන්ත ප්‍රමාණයක් උරාගෙන නැවත පරිසරයට මුදාහරින මෙම තාර පාරවල්, නගරය තුළ නාගරික තාප දූපත (Urban Heat Island Effect) තත්ත්වය තීව්‍ර කිරීමට සෘජුවම දායක වේ. මෙම පාරිසරික හා ආර්‍ථික අර්‍බුදයට තිරසාර පිළියමක් ලෙස ප්‍රතිචක්‍රීකරණය කළ ප්ලාස්ටික් අපද්‍රව්‍ය, සිදුරු සහිත කොන්ක්‍රීට් (Permeable Concrete) සහ සූර්‍ය තාපය පරාවර්‍තනය කරන සිසිල් අතුරන ද්‍රව්‍ය (Cool Parements) භාවිත කිරීමේ නව තාක්ෂණික ප්‍රවේශය ශ්‍රී ලංකාවේ නාගරික සංවර්‍ධනයට යෝජනා කිරීම කාලීන අවශ්‍යතාවකි. මෙමගින් නාගරික උෂ්ණත්වය සෙල්සියස් අංශක 2 සිට 5 දක්වා ප්‍රමාණයකින් පහත හෙළීමටත්, වක්‍රීය ආර්‍ථිකයක් (Circular Economy) ඔස්සේ අපද්‍රව්‍ය කළමනාකරණයට මෙන්ම නාගරික ජලවහන අර්‍බුදයට තිරසර විසඳුම් ලබාගැනීමටත් හැකියාව පවතී. නාගරික තාර පාරවල්වල අධික තාප ගැටලුව (Urban Heat Effect) වර්‍තමානය වන විටත් ශ්‍රී ලංකාවේ නාගරික සංවර්‍ධන හා මාර්‍ග ප්‍රවාහන ප්‍රතිපත්ති තුළ බහුලව භාවිත වන්නේ සාම්ප්‍රදායික කළු තාර යෙදීමේ පැරණි ක්‍රමවේදයන්‍ය. සූර්‍ය රශ්මිය පතිත වනවිට මෙම කළු තාර පෘෂ්ඨයන් සූර්‍ය තාපයෙන් 80-95%ක්ම උරා ගනු ලබයි. ඊට අමතරව මෙම සංකල්පය භාවිතයෙන් ජනතාවට ප්‍රතිලාභ රැසක් භුක්ති විඳීමට හැකිවීම සුවිශේෂි වේ. ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්‍තමේන්තුව සහ නාගරික සංවර්‍ධන අධිකාරිය (UDA) මගින් සිදුකරන ලද නාගරික තාප මිනුම් දත්ත වාර්‍තාවලට අනුව, වාහන ගමනාගමනය සහ කොන්ක්‍රීට් ඉදිකිරීම් බහුල නගර මධ්‍යයේ උෂ්ණත්වය ග්‍රාමීය ප්‍රදේශවලට වඩා සැලකිය යුතු ලෙස ඉහළ අගයක් ගනී. තාර පාරවල් රත්වීම නිසා පරිසරයට මුදාහැරෙන තාපය හේතුවෙන් පදිකයන් සහ එළිමහන් ශ්‍රමිකයන් දැඩි පාරිසරික අසහනයට ලක්වන අතර, වැසි ජලය පසට උරාගැනීමට නොහැකි වන සේ පාරවල් තාර දැමීම නිසා නිතර නිතර නාගරික ගංවතුර තත්ත්වයන් (Urban Flash Flood) ඇතිවේ. දේශීය හා ජාත්‍යන්තර පර්‍යේෂණ වාර්‍තා. සාම්ප්‍රදායික තාර වෙනුවට විකල්ප මාවත් යොදාගැනීම පිළිබඳව ජාත්‍යන්තරව මෙන්ම ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සහ පර්‍යේෂණ ආයතන ගණනාවක් මගින් ගවේෂණාත්මක පර්‍යේෂණ සිදුකර ඇත: මොරටුව විශ්වවිද්‍යාලයීය පර්‍යේෂණ (Prof’ W. K. Mampearachchi): මහමාර්‍ග හා ප්‍රවාහන ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්‍ය ඩබ්ලිව්. කේ. මාම්පෙආරච්චි මහතා ඇතුළු කණ්ඩායම විසින් සිදුකළ පර්‍යේෂණවලට අනුව, සිදුරු සහිත කොන්ක්‍රීට් ගඩොල් (Interlocking Concrete Block Pavers – ICBP) සහ පරණ ටයර් රබර් (Crumb Rubber) හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය (Polymer-Modified Bitumen) යොදාගැනීම මගින් තාර භාවිතය අවම කර මාවත්වල කල්පැවැත්ම ඉහළ නැංවිය හැකි බව හඳුනාගෙන තිබේ. එමෙන්ම මොරටුව විශ්වවිද්‍යාලයේ පර්‍යේෂකයන් විසින් ශ්‍රී ලංකාවේ මාර්‍ග ක්ෂේත්‍රයේ නිරත වෘත්තිකයන් සහ ඉංජිනේරුවන් 44 දෙනකු ඇසුරින් සිදුකළ පර්‍යේෂණයකට අනුව, 84%ක පිරිසක් එකඟ වී ඇත්තේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය, වීදුරු අපද්‍රව්‍ය (Glass Waste), සහ කඩාදමන ගොඩනැඟිලි අපද්‍රව්‍ය (C&D Waste) මාර්‍ග ඉදිකිරීම් සඳහා යොදාගැනීම ශ්‍රී ලංකාවට ඉතා යෝග්‍ය බවයි. ආසියානු සංවර්‍ධන බැංකුව (ADB) සහ යුරෝපා සංගමය (EU) මගින් සිදුකර ඇති පර්‍යේෂණ වාර්‍තා පෙන්වා දෙන්නේ සිදුරු සහිත මාවත් (Permeable Pavement) මගින් නාගරික උෂ්ණත්වය සෙල්සියස් අංශක 2 සිට 5 දක්වා ප්‍රමාණයකින් පහත හෙළිය හැකි අතර, භූගත ජල මට්ටම ආරක්ෂා කිරීමට ද උපකාරී වන බවයි. “රස්නෙ පාරේ සැරට සීතල විසඳුමක් අවශ්‍යයි” අධික නාගරික උෂ්ණත්වය නිසා වඩාත්ම පීඩාවට පත්වන්නේ නාගරික පදිකයන්, වීථි වෙළෙන්දන් සහ දෛනික එළිමහන් ශ්‍රමිකයන් ය. එමෙන්ම මව්වරු දියණියන් හා රැකියාවල නියුතු කාන්තාවන් ද මේ මගින් පීඩාවට ලක්වන සැලකිය යුතු කොටසකි. කොළඹ නගරයේ ප්‍රධාන මහමාර්‍ග අසල පදික වෙළෙඳාම් කරන වෙළෙඳ, වෙළෙඳියන්ගේ, හා අධික රස්නය ඇති විට තාර පාරවල් වලින් ගමන් කරන ප්‍රජාවගේ අත්දැකීම් විමසා බලන කළ පෙනී යන්නේ ඔවුන් මෙම අධික තාපය දරාගත නොහැකිව කායිකවත්, මානසිකවත්, ආර්‍ථිකවත් පීඩාවට ලක්වන ආකාරයයි. “දවල් 12ට විතර පාරෙන් එන රස්නය නිසා පදික වේදිකාවේ ඉන්න බැහැ. පාරෙන් රස්නය කකුල් දෙකට වදිනවා. පාරවල් සිසිල් වන විදියේ පදික වේදිකා හැදුවොත් අපේ රක්ෂාව කරන්න ලොකු සහනයක්. බිස්නස් එකක් කරගන්නෙත් බොහොම අමාරුවෙන්. වෙලාවකට වතුර වගේ නිතර දාඩිය දානවා. දරාගන්නත් බෑ.” සුමනදාස (පදික වෙළෙඳකරු කොළඹ කොටුව) “අව්ව වෙලාවට තාර පාරවල් උඩින් යද්දී මහන්සිය සහ හිසේ කැක්කුම වැඩි වෙනවා. අම්මා කෙනෙක් හැටියට මම දුවල දෙන්නත් අරගෙන හැමදාම ඉස්කෝලෙ ඇරෙන වෙලාවට මේ පාරවල් වලින් යන එනකොට හිතෙන්නේ කාන්තාරයක් උඩින් යනවා එනවා කියලා. නගරය ඇතුළේ කොන්ක්‍රීට් සහ තාර රත්වීම අඩු වන ක්‍රමවේදයක් ආවොත් පයින් ගමන් කරන අයට ලොකු අස්වැසිල්ලක් වෙයි” (කොළඹ ප්‍රධාන බාලිකා පාසලක දියණියන් දෙදෙනකුගේ මවක් වූ රමණි පෙරේරා) ප්‍රධාන තාක්ෂණික විකල්ප සහ ප්‍රායෝගික යෙදවුම් දේශීය සහ ජාත්‍යන්තර පර්‍යේෂණ මගින් තාර මාවත් සඳහා ප්‍රධාන විකල්ප තාක්ෂණික ක්‍රමවේද කිහිපයක් නිර්‍දේශ කරනු ලබන අතර විශේෂිත සිදුරු සහිත කොන්ක්‍රීට් අතුරන ක්‍රමයේදී, වැසි ජලය පාර මත රැඳී නොසිට සෘජුවම පසට උරා ගැනීමට සලස්වයි. මෙමගින් නාගරික ජල ගැලීම් පාලනය වන අතර භූගත ජල මට්ටම ද පෝෂණය වේ. තව ද පාරිසරික තර්‍ජනයක් වී ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කර අතුරන ගඩොල් (Interlocking Blocks) සෑදීමට යොදාගැනීම පරිසරයට ප්‍රතිලාභ රැසක් ගෙනදෙන විකල්පයක් ලෙස හඳුනාගෙන තිබේ. මෙයින් චක්‍රීය ආර්‍ථිකයක් (Circular Economy) ගොඩනැඟෙන අතර මාර්‍ග නඩත්තු පිරිවැය අවම වේ. ඊට අමතරව, සූර්‍ය තාපය පරාවර්‍තනය කරන සිසිල් පෘෂ්ඨ (Reflective Cool Coatings) ක්‍රමය මගින් සූර්‍ය රශ්මිය උරාගැනීම වෙනුවට පරාවර්‍තනය කළ හැකි ළා පැහැති ආලේපන හා ද්‍රව්‍ය, මාවත් සඳහා භාවිත කිරීම සිදුවේ. මෙමගින් නගරයේ පවතින පරිසර උෂ්ණත්වය පාලනය කිරීමට හැකිවේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ ශ්‍රී ලංකා මාර්‍ග සංවර්‍ධන අධිකාරියේ (RDA) පර්‍යේෂණ හා සංවර්‍ධන අංශය (රත්මලාන) මගින් ද සාම්ප්‍රදායික තාර භාවිතය අවම කිරීම සඳහා ප්‍රායෝගික නියමු ව්‍යාපෘති (Pilot Projects) කිහිපයක් සාර්‍ථකව අත්හදා බලා ඇත. බොරුපන ප්ලාස්ටික් අස්ෆෝල්ට් නියමු ව්‍යාපෘතිය රත්මලාන, බොරුපන මාර්‍ගයේ මීටර් 500ක කොටසක ප්‍රතිචක්‍රීකරණය කළ ප්ලාස්ටික් අපද්‍රව්‍ය උණුකර තාර සමග මිශ්‍ර කර (Waste Plastic Modified Asphalt) පාරේ අතුරා එහි සවිමත්භාවය හා කල්පැවැත්ම නිරීක්ෂණය කර ඇත. තවද රත්නොකළ තාර මිශ්‍රණ (Cold Mixed Asphalt) ව්‍යාපෘතියක් ලෙස කුලියාපිටිය – පඬුවස්නුවර මාර්‍ගයේ ඉන්ධන පිරිවැය සහ පරිසර හානිය අවම වන අයුරින් ‘Cold Mix’ තාක්ෂණය භාවිතයෙන් නියමු පාරක් ඉදිකර ඇත. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ (IESL) ඉංජිනේරු පංචුල රත්නායක මහතා ඇතුළු තාක්ෂණික විද්වතුන් පෙන්වා දෙන්නේ, අධික රස්නයට සහ ජල වහන දුර්‍වලතාවලට ඔරොත්තු දෙන තිරසාර පාදම් (Base Stabilization) සකස් කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය බවයි. එම
99mobile