FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

වාර්‍තා 30ක් සමග යෞවන ක්‍රීඩා පිටිය උණුසුම් වෙයි…..

FM Heart · 2 min read

The Heart Academy
ගම්පහටත් මහනුවරටත් සම ශූරතා – නව වාර්‍තා 30ක් බිහිවෙයි… යෞවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා, ජවය සහ අධිෂ්ඨානය මැනවින් විදහා දැක්වුණු 36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමස්ත සම ශූරතාව ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්ක විසින් දිනාගනු ලැබීය. දෙදිනක් පුරා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම ක්‍රීඩා උළෙලේදී දිස්ත්‍රික්ක දෙකම ලකුණු 130 බැගින් ලබාගනිමින් සම ශූරතා කිරුළට හිමිකම් කී අතර, ලකුණු 106 ක් ලබාගත් ගාල්ල දිස්ත්‍රික්කයට තෙවැනි ස්ථානය හිමිවිය. ඔක්තෝබර් 31 සහ නොවැම්බර් 01 දෙදින පැවැති මෙවර ක්‍රීඩා උළෙලේ විශේෂත්වය වූයේ නව පිහිනුම් වාර්‍තා 21 ක් සහ නව තරග වාර්‍තා 09 ක් ඇතුළුව නව වාර්‍තා 30 ක් බිහිවීමය. එමගින් යෞවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සතු ඉහළ දක්ෂතා සහ අනාගත ක්‍රීඩා ක්ෂේත්‍රය පිළිබඳ බලාපොරොත්තු යළිත් තහවුරු විය. මෙවර ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ ඒ.ඩබ්.ජී.ජේ.එස්. විජේතුංග සම්මාන දිනාගත්තාය. ඇය මීටර් 400 ඉසව්ව තත්පර 54.30 කින් නිම කරමින් එම ඇගයීමට පාත්‍ර වූවාය. දක්ෂතම ක්‍රීඩකයා ලෙස කෑගල්ල දිස්ත්‍රික්කයේ එම්.ඩී. චතුරංග සම්මාන ලැබුවේ මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්ව තත්පර 50.06 කින් නිම කරමින් නව තරග වාර්‍තාවක් පිහිටුවමිනි. සම ශූරතාව දිනාගත් ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්ක දෙක සඳහා රුපියල් ලක්ෂ දෙක බැගින්ද, තෙවැනි ස්ථානය හිමිකරගත් ගාල්ල දිස්ත්‍රික්කයට රුපියල් ලක්ෂයක්ද ත්‍යාග වශයෙන් පිරිනැමිණි. දක්ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට රුපියල් ලක්ෂ දහය බැගින් පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණි. තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කළ මෙම ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක, අමාත්‍යාංශ ලේකම් එස්. අච්චුදන්, ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා ඇතුළු නිලධාරීහු සහ ආරාධිතයෝ රැසක්ද ඊට එක්ව සිටියහ. 1986 වසරේදී ආරම්භ වූ ජාතික යෞවන ක්‍රීඩා උළෙල දශක ගණනාවක් පුරා ජාතික හා ජාත්‍යන්තර තලයට දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් හඳුන්වා දුන් ප්‍රමුඛ වේදිකාවකි. මෙවර ක්‍රීඩා උළෙලද නව ක්‍රීඩා දක්ෂතා හඳුනා ගැනීමටත්, යෞවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඉදිරි ක්‍රීඩා ගමනට ශක්තියක් වීමටත් වැදගත් අවස්ථාවක් විය. ශ්‍යාමලී ද සිල්වා, ජාතික තරුණ සේවා සභාව
99mobile