FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

අභියෝග සහ අවදානම් මැද ආර්‍ථිකයේ ඉදිරි ගමන

FM Heart · 9 min read

The Heart Academy
රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 50 වැනි වගන්තියට අනුව, වර්‍ෂය මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වන නවතම වාර්‍තාව (2026) මුදල් අමාත්‍යවරයා ද වන ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉකුත් ඔක්තෝබර් 31 වැනිදා නිකුත් කර ඇත. රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 50 වැනි වගන්තිය අනුව මේ වාර්‍තාව ඉදිරිපත් කිරීම නීතිමය අවශ්‍යතාවක් වන අතර එම නෛතික අවශ්‍යතාව සපුරමින් ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයා ලෙස මේ වාර්‍තාව නිකුත් කර ඇත. මේ වාර්‍තාවේ අන්තර්‍ගතය පිළිබඳව එහි ආරම්භයේම සඳහන් වන ලෙස 2026 වර්‍ෂයේ පළමු මාස හය තුළ රජයේ ඇස්තමේන්තු කරන ලද ආදායම සහ සැබෑ ආදායම, ඇස්තමේන්තු කරන ලද වියදම සහ සැබෑ වියදම, ඇස්තමේන්තු කරන ලද මුදල් ප්‍රවාහය සහ සැබෑ මුදල් ප්‍රවාහය හා ඇස්තමේන්තු කරන ලද ණය ගැනීම් සහ සැබෑ ණය ගැනීම් මෙම වාර්‍තාවේ ඇතුළත් වේ. එසේම 2026 වර්‍ෂයේ පළමු මාස හය සඳහා වන අයවැය තත්ත්වය පිළිබඳ තාවකාලික දත්ත ද, මුදල් අංශයේ ප්‍රවණතා, උද්ධමනය, විදේශ මූල්‍යයනය, රාජ්‍ය ණය, නිල සංංචිත ද ඇතුළත්ව සාර්‍ව ආර්‍ථික කටයුතුවල කාර්‍යසාධනය සහ රජය සතු ව්‍යවසායන්ගේ කාර්‍යසාධනය පිළිබඳ තොරතුරු ද මෙම වාර්‍තාවට ඇතුළත්ව ඇත. පළමු වන පරිච්ඡේදය ‘ආර්‍ථික සන්දර්‍භය’ ලෙස නම් කර ඇති අතර, එහි ශ්‍රී ලංකාවේ ආර්‍ථික තත්ත්වය පිළිබඳ සමාලෝචනයක් ද ඇතුළත් වේ. එම සමාලෝචනයේ මෙසේ සඳහන් වේ. ‘දිට්වා සුළි කුණාටුව හා මැදපෙරදිග ගැටුම් යන ද්විත්ව කම්පන හේතුවෙන් හටගත් බලශක්ති අර්‍බුදය මධ්‍යයේ ශ්‍රී ලංකාවේ ආර්‍ථිකය ඔරොත්තු දීමේ හැකියාව පිළිඹිබු කරන ලදී. අඛණ්ඩව කාර්‍තු දොළහක් මුළුල්ලේ ආර්‍ථිකය වර්‍ධනය වූ අතර පරිභෝජනය සහ ආයෝජනය වේගවත් වීම හේතුවෙන් 2026 වසරේ පළමු භාගයේ දී ආර්‍ථික ක්‍රියාකාරකම් සියයට 4.7 කින් ප්‍රසාරණය විය. ඉහළ යන ඉන්ධන මිල ගණන් හේතුවෙන් කොළඹ පාරිභෝගික මිල දර්‍ශකයේ වාර්‍ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය තනි ඉලක්කම් අගයක පැවතිය ද, වැඩි වීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කළ අතර 2026 වසරේ සැප්තැම්බර් මාසයේදී සියයට 8.0 ක් විය. 2027 වසරේ දෙවන භාගයේ සිට උද්ධමනය සියයට 5 ට අඩු මට්ටමක පවතිනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂා කෙරේ. 2026 වසරේ අගෝස්තු මස අවසාන වන විට දළ නිල සංචිත ප්‍රමාණය ඇ.ඩො. බිලියන 6.9 ක් දක්වා ඉහළ ගිය අතර, එය ආසන්න වශයෙන් මාස 3.0 ඉක්මවන ආනයන වියදමට සමාන වේ. වාහන ණය සහ සංස්ථාපිත ණය ලබා දීම සාමාන්‍ය තත්ත්වයට පත්වීම පිළිඹිබු කරමින් පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය ප්‍රමාණය 2025 වසරේ පළමු මාස අට තුළ වාර්‍තා වූ සියයට 20.5 ක වර්‍ධනයට පසුව, 2026 වසරේ සියයට 24.5 කින් වර්‍ධනය විය. ආදායම් පරිපාලනය ශක්තිමත් වීම සහ ආර්‍ථික ක්‍රියාකාරකම් වේගවත් වීම පිළිඹිබු කරමින් 2025 වසරේ පළමු මාස අට තුළ රු. බිලියන 3068 ක් වූ බදු ආදායම 2026 වසරේ සමාන කාල පරිච්ඡේදය තුළ රු. බිලියන 3683 දක්වා සියයට 20.0 කින් වර්‍ධනය විය. මීට අමතරව, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය බොහෝ දුරට අවසන් වී ඇත. සාර්‍ව ආර්‍ථික ස්ථායීකරණය සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ හේතුවෙන් 2025 සහ 2026 වසරවලදී ප්‍රධාන ජාත්‍යන්තර දර්‍ශක ශ්‍රේණිගත කිරීම් සහ ගෝලීය ඇගයීම් කිහිපයක් ඔස්සේ ශ්‍රී ලංකාව සැළකිය යුතු ප්‍රගතියක් වාර්‍තා කර තිබේ.’ මේ ලිපිය මගින් අප විශේෂයෙන් අවධානය යොමු කරන්නේ මෙම වර්‍ෂය මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්‍තාව (2026) පදනම් කරගනිමින්, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්‍ථික තත්ත්වය සහ ඉදිරි අවදානම් පිළිබඳ ආර්‍ථිකමය විශ්ලේෂණයක් සිදු කිරීමටය. 2026 වර්‍ෂයේ ආර්‍ථික ප්‍රගතිය සහ ප්‍රධාන සන්ධිස්ථාන ගැන සඳහන් කරමින්, මෙම වාර්‍තාව පෙන්වා දෙන්නේ දිට්වා සුළි කුණාටුව සහ මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඇති වූ ද්විත්ව බලශක්ති අර්‍බුදය මැද වුවද ශ්‍රී ලංකා ආර්‍ථිකය ශක්තිමත් ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇති බවයි. ඒ සමගම අවිනිශ්චිත ලෝක ආර්‍ථික පරිසරය හමුවේ අපට අවදානම් සහගත තත්ත්වයන්ට ද මුහුණ දීමට සිදුව ඇත. මුලින්ම ආර්‍ථික වර්‍ධනය ගැන සඳහන් කරන්නේ නම් අඛණ්ඩව කාර්‍තු 12ක් පුරා ආර්‍ථිකය වර්‍ධනය වී ඇති අතර, 2026 වසරේ පළමු භාගයේදී පරිභෝජනය සහ ආයෝජන වේගවත් වීම නිසා ආර්‍ථික ක්‍රියාකාරකම් සියයට 4.7කින් ප්‍රසාරණය වී තිබේ. එහෙත් ප්‍රශ්නය වන්නේ රට මුහුණ දී සිටින අධික දරිද්‍රතාව ඇතුළු අභියෝග ජය ගැනීමට සහ ඒවාට මුහුණ දීමට මේ මන්දගාමී ආර්‍ථික වර්‍ධනය ප්‍රමාණවත් ද යන්නයි. ඒ ගැන ඉතා පැහැදිලිව කිව යුතු වන්නේ, මේ වන විට ධනාත්මක ආර්‍ථික වර්‍ධනයක් වාර්‍තා කර තිබුණද, රටේ පවතින ගැඹුරු මූල්‍ය හා ව්‍යුහාත්මක අභියෝග මුළුමනින්ම ජය ගැනීමට මෙම සාපේක්ෂව අඩු ආර්‍ථික වර්‍ධනය පමණක් ප්‍රමාණවත් නොවන බවයි. මේ නිගමනයට හේතු ලෙස ප්‍රධාන කරුණු කිහිපයක් දැක්විය හැකිය. මේ වන විට විදේශ අංශයේ පීඩනයකට අප මුහුණ දෙමින් සිටින අතර වෙළෙඳ හිඟය ද පුළුල් වෙමින් පවතී. දිට්වා සුළි කුණාටුව සහ මැදපෙරදිග ගැටුම් හේතුවෙන් බලශක්ති අර්‍බුදයක් මතුවීම සහ වාහන ආනයන සීමා ලිහිල් වීම නිසා ආනයන වියදම තියුණු ලෙස ඉහළ ගොස් ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස මේ වසරේ (2026) ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලයේ දී ජංගම ගිණුමේ ඇමෙරිකානු ඩොලර් මිලියන 420 ක සමුච්චිත හිඟයක් වාර්‍තා වී ඇත. එසේම වෙළෙඳ හිඟය (අපනයන ආදායම ඉක්මවා ගිය ආනයන වියදම) ද සැලකිය යුතු ලෙස ලෙස පුළුල් වී තිබේ. 2026 වසරේ ජනවාරි – සැප්තැම්බර් කාලපරිච්ඡේදය තුළ දී මුළු වෙළෙඳ හිඟය පෙර වසරේ (2025) එම කාලපරිච්ඡේදයේ වාර්‍තා වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 5.2 ට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලර් බිලියන 7.9 ක් දක්වා පුළුල් විය. තෙල් ආනයන වියදම් සැලකිය යුතු ලෙස වර්‍ධනය වීම ද මේ සඳහා බලපා ඇත. මේ අනුව මෙරට දේශීය තෙල් මිල ගණන් ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ජනතාවගේ ආර්‍ථික පීඩනය උග්‍ර කිරීමට ද මේ තත්ත්වය හේතු වී ඇත. මේ අනුව උද්ධමනය සහ ජනයාගේ ජීවන වියදම් පීඩනය දිනෙන් දින වර්‍ධනය වෙමින් තිබේ. ආර්‍ථිකය වර්‍ධනය වුවද, ඉන්ධන මිල ඉහළ යෑම සහ බලශක්ති ගැලපීම් හේතුවෙන් උද්ධමනය 2026 ඔක්තෝබර් මාසය වන විට සියයට 8.3 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙසේ මහ බැංකුවේ ඉලක්කගත මට්ටම වන සියයට 5 ක අගය ඉක්මවා සැලකිය යුතු ලෙස මේ වන විට උද්ධමනය වැඩි වී ඇත. මෙසේ රටේ පොදු මිල මට්ටම වැඩි වෙමින් උද්ධමනය ඉලක්කගත මට්ටමට වඩා වැඩිවීම නිසා ජනතාවගේ ක්‍රය ශක්තියට සහ ජීවන වියදමට දැඩි බලපෑමක් එල්ල කර ඇත. අප සමස්ත ආර්‍ථික වර්‍ධනයක් ගැන කතා කළත් ආර්‍ථික වර්‍ධනය මන්දගාමී වෙමින් පවතින අතරම කෘෂිකාර්‍මික අංශය හැකිලීමට ලක්ව ඇත. මේ අනුව මුළු ආර්‍ථික වර්‍ධනයක් පෙන්නුම් කළද, මේ වසරේ (2026) පළමු මාස හයේදී කෘෂිකාර්‍මික අංශය සුළු හැකිලීමකට ලක්ව ඇත. අපේ රටේ විශාල පිරිසක් කෘෂිකර්‍ම අංශයේ සේවා නියුක්තව සිටී. වී වගාව, සත්ත්ව නිෂ්පාදන සහ ධීවර කර්‍මාන්තය වැනි ග්‍රාමීය ආර්‍ථිකයට සෘජුව සම්බන්ධ ක්ෂේත්‍ර පසුබෑමකට ලක්වීම රටේ බහුතර ජනතාවගේ ආදායම් මට්ටම් කෙරෙහි සෘජුවම බලපායි. මෙසේ ඔවුන්ගේ ආදායම් මට්ටම් අඩු විය හැකි වුවත් රටේ පොදු මිල මට්ටම දිගින් දිගටම වැඩි වෙමින් තිබේ. මේ හමුවේ සිදු වන්නේ එම ජනයාගේ ආර්‍ථික පීඩනය තවත් උග්‍ර අතට පත්වීමයි. ශ්‍රී ලංකාව මූල්‍ය ප්‍රතිසංස්කරණ සිදුකරමින් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය මත ණය ප්‍රතිව්‍යුහගත කිරීම බොහෝ දුරට අවසන් තත්ත්වයකට පත්ව ඇත. එසේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වෙමින් පැවතියද, රටේ සමස්ත රාජ්‍ය ණය තොගය තවමත් ඉහළ මට්ටමක පවතී. අඛණ්ඩව දිගුකාලීන තිරසාර සංවර්‍ධනයක් ළඟා කර ගැනීමට නම් සියයට 5 කට වඩා අඩු ආර්‍ථික වර්‍ධනයක් පමණක් ප්‍රමාණවත් නොවන අතර, ඉදිරි වර්‍ෂවලදී එය තවදුරටත් ඉහළ මට්ටමකට වේගවත් කර ගනිමින් පවත්වා ගත යුතුව ඇත. අපේ ආර්‍ථිකය ස්ථාවර මාවතකට පිවිසෙමින් සහ අපගේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් දියුණු වෙමින් පැවතුණද, බාහිර කම්පනවලට මීට වඩා ඔරොත්තු දෙන ශක්තිමත් ආර්‍ථිකයක් ගොඩනැංවීමට නම් මීට වඩා ඉහළ ආර්‍ථික වර්‍ධන වේගයක් අඛණ්ඩව ලබාගත යුතුව ඇත. ඒ සඳහා අපේ ආර්‍ථික විභවය තවත් භාවිතා කළ හැකි වන ලෙස සහ රටේ නිෂ්පාදන ආර්‍ථිකය ශක්තිමත් කරන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කිරීම තවදුරටත් අවශ්‍ය වනු ඇත. මෙම ආර්‍ථික අභියෝග ජය ගැනීම සඳහා රජය විසින් ඉදිරි උපායමාර්‍ග සකස්කරගෙන කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු වේ. බදු ආදායම ගත් විට ආදායම් පරිපාලනය ශක්තිමත් වීම සහ ආර්‍ථික ක්‍රියාකාරකම් ඉහළ යෑම හේතුවෙන් මේ වසරේ (2026) වසරේ සැලකිය යුතු බදු ආදායම් වර්‍ධනයක් වාර්‍තා කර ඇත. මේ වසරේ (2026) අගෝස්තු මස අවසාන වන විට දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.9ක් දක්වා වර්‍ධනය වී ඇති අතර, එය මාස 3.0 ක පමණ ආනයන වියදම් ආවරණය කිරීමට ප්‍රමාණවත් වේ. එහෙත් අයිඑම්එෆ් වැඩසටහන අනුව අප විසින් තවදුරටත් විදේශ සංචිත වර්‍ධනය කරගත යුතු වේ. ජාත්‍යන්තර ඇගයීම් සහ ණය ශ්‍රේණිගත කිරීම් වර්‍ධනය වෙමින් තිබේ. සාර්‍ව ආර්‍ථික ස්ථායීකරණය හේතුවෙන් ෆිච් රේටින්ග්ස් ආයතනය ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ ශ්‍රේණිගත කිරීම ‘CCC+’ සිට ‘B-’ මට්ටම දක්වා ඉහළ නංවා ඇත. මීට අමතරව, දූෂණ සංජානන දර්‍ශකය ඉහළ යෑම සහ ණය විනිවිදභාවය අතින් ගෝලීය වශයෙන් ඉහළ ස්ථාන ලබා ගැනීමට රටට හැකි වී තිබේ. මෙලෙස ආර්‍ථිකයේ අත්කරගෙන ඇති ස්ථායි බව ගැන අපට සුබවාදීව කතා කළ හැකි වුවත් ආර්‍ථික අවදානම් සහ අභියෝග ද අප හමුවේ තිබේ. ආර්‍ථිකය යහපත් ප්‍රවණතාවක පැවතියද, වාර්‍තාව මගින් ඉදිරි කාලය සඳහා අවධානය යොමු කළ යුතු ප්‍රධාන අවදානම් කිහිපයක් පෙන්වා දී ඇති බව පෙනේ. වර්‍ධනය වෙමින් පවතින උද්ධමන පීඩනය එක කරුණකි. ඉහළ යන ඉන්ධන මිල සහ බලශක්ති ගැලපීම් හේතුවෙන් උද්ධමන පීඩනය වර්‍ධනය වෙමින් තිබේ. එය පාලනය කර ගැනීමට අප උත්සාහ ගත යුතුය. මේ අතරම ලබන වසරේ (2027) දෙවන මාස හය වන විට එය නැවත සියයට 5ට අඩු මට්ටමකට ගෙන ඒමට හැකි වනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා පළ කර ඇත. විදේශ අංශයේ අවදානම් සහ වෙළෙඳ හිඟය වර්‍ධනය වීමේ අහිතකර තත්ත්වය ද මේ අතර වේ. මේ අනුව අඩු වැඩි වෙමින් තිබෙන මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ගෝලීය බොරතෙල් මිල ඉහළ යෑම හමුවේ බලශක්ති පිරිවැය වර්‍ධනය වෙමින් ඇත. අපට සැලකිය යුතු විදේශ විනිමය ආදායමක් උපයා ගැනීම සඳහා විශාල විභවයක් ඇති සංචාරක කර්‍මාන්තයේ පසුබෑමකට ලක් වීම කනගාටුවට කරුණකි. රජයේ සංචාරක ආයතනවලට, මේ ආණ්ඩුව විසින් පත්කළ එම විෂය ගැන මහා දැනුමැත්තන් ලෙස පෙනී සිටි බුද්ධික හේවාවසම් වැනි අයට එම තනතුරුවලින් ඉවත්වීමට සිදුව ඇත. ඔහුගේ කාලයේ දී සංචාරක කර්‍මාන්තයේ ප්‍රගතියක් අත්කර ගැනීමට අසමත්ව ඇත. පසුගිය කාලයේ සංචාරක පැමිණීම්වල සුළු අඩු වීමක් සහ සංචාරක ආදායමේ ඊට වඩා වඩු පසුබෑමක් ද සිදුව ඇත. මේ නිසා මේ සංචාරක ආයතනවලට මෙවැනි කයිතන්ලා වෙනුවට ප්‍රායෝගික දැක්මක් ඇති නායකත්වයන් අවශ්‍ය කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය යටතේ සිදුකළ ආර්‍ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හමුවේ, ශ්‍රී ලංකා ආර්‍ථිකය ස්ථාවර මාවතකට පිවිසෙමින් තිබුණද, ගෝලීය බලශක්ති මිල උච්චාවචනයන් සහ සැපයුම් දාම බාධා වැනි බාහිර කම්පන හමුවේ තවදුරටත් ආර්‍ථිකය අවදානම් හා අවිනිශ්චිත තත්ත්වයකට මුහුණ දී සිටින බව කිව හැකිය. මේ නිසා වර්‍ධනය වෙමින් තිබෙන උද්ධමන පීඩනයන් පාලනය කරමින් සහ පවතින අභියෝග සහ අවදානම් තත්ත්වයන්ට සාර්‍ථකව මුහුණ දීම සඳහා අඛණ්ඩව ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින්ම ඉදිරි කාලයේ දී ආර්‍ථිකයේ ස්ථාවරභාවය තහවුරු කිරීමට අත්‍යවශ්‍ය වනු ඇත. රටේ ආර්‍ථිකයේ ස්ථාවර බව ගැන ආණ්ඩුව සහ මුදල් අමාත්‍යාංශය කවරක් කීවත්, මේ රටේ අතිමහත් බහුතර සාමාන්‍ය ජනතාවගේ ආර්‍ථිකයට නම් ස්ථාවර බවක් ඇතිව නැත. වැඩිම බදු බරකට සහ බඩු මිලකට මුහුණ දෙමින් ඔවුන් බලවත් ආර්‍ථික පීඩනයකට සහ අසහනයකට මුහුණ දී සිටී. පොදු ජනයාගේ මෙන්ම වෘත්තිකයන්ගේ මේ ඉහළ බදු බරට යම් සහනයක් ඇති කිරීමේ හැකියාව ආණ්ඩුවට, ඉදිරි අයවැය ලේඛනයෙන් උදාකරගත හැකිය. ඒ සඳහා 2027 වසරේ අයවැය මගින් යම් යම් යෝජනා ඉදිරිපත් වනු ඇති බවට, මේ මොහොතේ අසීමිතව පීඩාවට පත්ව සිටින පොදු ජනයා තුළ යම් අපේක්ෂාවක් ඇතිව තිබෙන බව අපට පෙනේ. ශ්‍යාම් නුවන් ගනේවත්ත shyam.divaina@gmail.com
99mobile