
දිනාගත් බලය ආපහු දෙන්නෑ.. ඉදිරියටත් අපිමයි..- ලාල් කාන්ත
FM Heart · 1 min read
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹදී පැවති වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, වර්තමානය වන විට රටේ දේශපාලනය නව සංධිස්ථානයකට එළඹ ඇති බවයි. මෙතෙක් කලක් පැවති දේශපාලන බලය දිනාගැනීමේ අරගලය දැන් නිමාවට පත්ව ඇති බවත්, වර්තමානයේ පවතින සැබෑ අභියෝගය වන්නේ දිනාගත් බලය ආරක්ෂා කරගනිමින් එය තවදුරටත් වර්ධනය කර ඉදිරියට ගෙන යාම බවත් හෙතෙම සඳහන් කළේය. "දැන් අපි ඉන්නේ දේශපාලන බලය දිනාගන්න ඕන කියන පියවරේ නෙවෙයි. දිනාගත් ඒ දේශපාලන බලය ආරක්ෂා කරගන්න ඕන. වැඩිදියුණු කරගන්න ඕන. අපි මේ බලය ආයේ දෙන්නේ නෑ. මේ කාලය ගෙවුණට පස්සෙත් අපිම තමයි නැවත බලයට එන්නේ," යැයි අමාත්‍යවරයා පැවසීය. එම යථාර්ථය මෙම සමුළුවට සහභාගී වී සිටින දැවැන්ත ජනකාය මඟින්ද තහවුරු වන බව ඔහු පෙන්වා දුන්නේය. මෙම දිනාගත් දේශපාලන බලය රැකගත යුත්තේ කාගෙන්දැයි ප්‍රශ්න කළ ලාල් කාන්ත මහතා, වැඩකරන පන්තිය පාවාදෙන ද්‍රෝහීන්ගෙන් මෙම බලය සුරක්ෂිත කරගැනීම සියලු දෙනාගේ වගකීම බවද වැඩිදුරටත් අවධාරණය කළේය.

