FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

පෙළහරක් නැති පා ගමන්

FM Heart · 11 min read

The Heart Academy
පෙළපාලියත් පා ගමනේම විකාශනයක්… මෑත ඉතිහාසයේ ලෝකයේ සාර්‍ථකම සාම පා ගමන අපේ රටේදී අසාර්‍ථකයි… මේ වෙනකොට අපේ රටේ පා ගමන් ජනතාවට කොමඩියක්… ලෝකයේ සාර්‍ථකම පා ගමන ඉන්දියාවේ දණ්ඩි පා ගමන… ආණ්ඩු පක්‍ෂයත් පා ගමන් යන ලෝකයේ එකම රට ලංකාව… විවිධ අරමුණු මුදුන්පත් කරගෙන පා ගමන් යන සංස්කෘතියක් මෙරට නිර්‍මාණය වී බොහෝ කාලයකි. මේ වන විට පා ගමනක් නොයෙන දිනයක් නොමැති තරම් ය. හැම ‘රෙද්දටම’ පා ගමන් යන විට රටේ ජනතාව ‘පා ගමන්’ දකිනුයේ ද ‘විගඩමක්’ විදිහට ය. පෙළපාලි සහ පා ගමන් අච්චාරුවක් බවට පත් කරගෙන, මහ මඟ මිනිසුන් දිව යන අයුරු දකින පා ගමන් ඇතුළුව පසුගිය කාලය පුරා විවිධාකාර පා ගමන් රැල්ලක් ඇස ගැටුණු හෙයින් ‘පා ගමන්’ ගැන සටහනක් තැබීමට අපි අදහස් කළෙමු. පා ගමනක් යනු සමාජීය, දේශපාලනික, ආර්‍ථික හෝ ආගමික අරමුණක් මුදුන් පමුණුවා ගැනීම සඳහා පිරිසක් විසින් සංවිධානාත්මකව එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට පයින් ගමන් කිරීම ය. එම ‘පාද චාරිකා’ ශරීරය, මනස සහ ආත්මය ඒකාබද්ධ කරමින් සිදු කරන ගැඹුරු අධ්‍යාත්මික ගමනක් බව ද සැබෑ ය. ජනතාව දැනුවත් කිරීමේ සහ බලධාරීන්ගේ අවධානය දිනාගැනීමේ ප්‍රබල උපයාමාර්‍ගික සන්නිවේදන මාධ්‍යයක් ලෙස ද පා ගමන් හැඳින්විය හැකි ය. පා ගමන්වල ඉතිහාසය භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි කාලය දක්වා දිව යන බව සැබෑ ය. කාන්තාවන්ට පැවිද්ද ලබාගැනීමේ අරමුණින් යසෝධරාව සහ මහා ප්‍රජාපතී ගෝතමිය කුල කාන්තාවන් පන්සියයක් සමග කසාවතින් සැරසී, හිස මුඩු කර, පාවහන් රහිතව දැඩි දුෂ්කරතා මැඬගෙන යොදුන් පන්සියයක් දුර පැමිණ විශාලා මහනුවර කූඨාගාර ශාලාවේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි වැඩ සිටි ආනන්ද හාමුදුරුවන්ට අරමුණ පැහැදිළි කොට ජයග්‍රහණයකින් පාද චාරිකාව අවසාන කළ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් ය. බොහෝවිට භග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වැඩම කළේ ද පා ගමනින් ය. භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා පා ගමනින් වැඩම කරන අයුරු දැකබලා ගැනීමට ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව මඟ දෙපසට එක්‍රොක් වී ඇති බව ද බෞද්ධ ඉතිහාසයේ සඳහන් ය. මෑතක් වන තෙක් දායක නිවෙස්වල අවමඟුලට, දානයට, පිරිතට මෙරට භික්‍ෂුන් වහන්සේ වැඩම කළේ ද පා ගමනින් ය. මිනිසුන් වන්දනා ගමන් ගියේ ද පා ගමනින් ය. මහා යුද සංග්‍රාමවලට සේනාව ගමන් කළේ ද පා ගමනින් ය. ආක්‍රමණික එළාර රජු සමග සටන් වැදීමට මාගම සිට දුටුගැමුණු රජු ඇතුළු යුද සේනාව අනුරාධපුරය දක්වා පා ගමනින් ගමන් කළ බව ඉතිහාසයේ සඳහන් ය. එම පා ගමන අතරවාරයේ දුටුගැමුණු රජු විසින් ස්කන්ධ කුමාරයාට වෙච්ච පොරොන්දුවක් ඉෂ්ට කිරීමට ඉදිකරන ලද කතරගම දේවාලයේ වාර්‍ෂික ඇසළ පෙරහැර මංගල්‍යයට උතුරු, නැගෙනහිර දෙමළ ජනතාව දින ගණනාවක් යාල වන පෙත මැදින් පයින් පැමිණීම අති සුන්දර පාද යාත්‍රාවක් ලෙස ලෝක ප්‍රසිද්ධියට පත්ව තිබේ. සමනළ කඳු මුදුනේ වැඩ සිටින ශ්‍රී පාද පද්මය වැඳ පුදා ගැනීමට බැතිමතුන් පයින් ගමන් කිරීම ද ආධ්‍යාත්මය සුවපත් කරන පාද යාත්‍රාවක් ලෙස ලෝකයේම අවධානය දිනාගෙන තිබේ. අමද්‍යප පා ගමන ලෝක ඉතිහාසයේ දේශපාලනික සහ සමාජීය අරගලයක් ලෙස පා ගමන් ආරම්භ වී ඇත්තේ 19 සහ 20 වන සියවස්වලදී ය. 19 වැනි සියවසේ, යුරෝපයේ සහ ඇමෙරිකාවේ කම්කරුවන් දිනකට පැය 8ක වැඩ මුරයක් සහ සාධාරණ වැටුපක් ඉල්ලා පෙළපාලි සහ පා ගමන් විරෝධතාවයක නිරත වී ඇත. 1894 වර්‍ෂයේදී ඇමෙරිකාවේ කොක්සිගේ හමුදාව රැකියා විරහිතභාවයට එරෙහිව වොෂින්ටන් නුවරට ගිය පා ගමන ද ලෝක ප්‍රසිද්ධ පා ගනමකි. 1900 මුල් භාගයේදී බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකාවේ කාන්තාවන් තම ඡන්ද අයිතිය දිනාගැනීම සඳහා ද දැවැන්ත පා ගමන් විරෝධතාවයක් සංවිධානය කොට ඇත. 1913 වර්‍ෂයේ වොෂින්ටන් පා ගමන ඒ අරඹයා කදිම නිදසුනකි. එමෙන්ම බ්‍රිතාන්‍යයන් විසින් ලුණු සඳහා පැන වූ අසාධාරණ බද්ධට එරෙහිව මහත්මා ගාන්ධිතුමාගේ නායකත්වයෙන් 1930 වර්‍ෂයේ මාර්‍තු මස 12 වැනිදා සබරමතී ආශ්‍රමයේ සිට ගමන් ආරම්භ කොට මිලියනයකට වැඩි පිරිසකගේ සහභාගිකත්වයෙන් ගුජරාටයේ දණ්ඩි වෙරළ දක්වා කිලෝ මීටර් 390 ක් පමණ පයින් ගමන් කොට දැක් වූ අවිහිංසාවාදී විරෝධය ලෝක ඉතිහාසයේ සාර්‍ථකම සහ දැවැන්තම පා ගමන (Salt March) ලෙස ප්‍රසිද්ධ ය. එම පා ගමනේ ප්‍රතිඵලයක් ලෙස 1931 වර්‍ෂයේ මාර්‍තු 5 වැනිදා ගාන්ධිතුමා සහ අර්‍වින් ප්‍රතිරාජයා අතර ගිවිසුමක් අත්සන් කර ඇති අතර, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සහ පෞද්ගලික පරිභෝජනය සඳහා ලුණු රැස් කිරීමට, නිපදවීමට අවසර ලබාදීම වැනි කරුණු ක්‍රියාත්මක වී ඇත. 1963 වර්‍ෂයේදී මාටින් ලූතර් කිංගේ නායකත්වයෙන් කළු ජාතිකයන්ගේ සිවිල් අයිතිවාසිකම් සහ රැකියා අයිතිවාසිකම් වෙනුවෙන් වොෂින්ටන් නුවර පා ගමන ද ලෝක ඉතිහාසයේ දෙවැනි දැවැන්තම පා ගමන (March on Washington) ලෙස ලොව ප්‍රකට ය. ලක්‍ෂ දෙකහමාරකට වැඩි පිරිසක් එකතු වී සිටි එම පා ගමන 1964 වර්‍ෂයේදී සිවිල් අයිතිවාසිකම් පනත සම්මත වීමට සෘජු බලපෑමක් වී ඇත. 1934 – 1935 දෙවර්‍ෂයේදී මාඕ සේතුංගේ නායකත්වය යටතේ කුවෝමින්ටෑන්ග් හමුදාවන්ගෙන් බේරීමට රතු හමුදාව කිලෝ මීටර් 9000ට වඩා දුෂ්කර මාර්‍ග ඔස්සේ පසුබැස ගිය ගමන ද චීනයේ දිගුම පා ගමන (The Long March) ලෙස ප්‍රසිද්ධ ය. මාඕ සේතුං චීනයේ නායකයා බවට පත් කිරීමට චීන කොමියුනිස්ට් විප්ලවයේ පදනම එය විය. 1965 වර්‍ෂයේදී මාටින් ලූතර් කිං සහ ජෝන් ලුවිස්ගේ නායකත්වයෙන් කළු ජාතිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට තිබූ බාධා ඉවත් කරන ලෙස ඉල්ලා සෙල්මා සිට මොන්ටිගොමරි දක්වා (Selma to Montgomery) කිලෝ මීටර් 87ක පා ගමන ද 1965 වර්‍ෂයේදී ඡන්ද අයිතිය දිනාගැනීමට ප්‍රබල බලපෑමක් විය. 1989 වර්‍ෂයේදී සෝවියට් පාලනයෙන් නිදහස ඉල්ලා මිලියන 2ක පමණ පිරිසක් කිලෝ මීටර් 675ක් පුරා අත්වැල් බැඳගෙන සිටීම ද ලෝක ඉතිහාසයේ දැවැන්ත සාමකාමී පා ගමන ලෙස ප්‍රසිද්ධ ය. බෝල්ටික් මාර්‍ගය (The Baltic Way) ලෙස ප්‍රසිද්ධ එම පා ගමන එස්තෝනියාව, ලැට්වියාව සහ ලිතුවේනියා රටවල් තුනටම නිදහස ලබාගැනීමට ප්‍රබල හඬක් වී ඇත. එමෙන්ම දෙවන ලෝක යුද්ධයේදී සිදු වූ විනාශයෙන් පසු යුද අවි ඉවත් කරන ලෙසත්, ජාත්‍යන්තර සහයෝගිතාවය ඇති කරගැනීම මුදුන්පත් කරගෙන යුරෝපයේ සහ උතුරු ඇමෙරිකාවේ සාම පාගමන් විශාල වශයෙන් සංවිධානය විය. න්‍යාෂ්ටික අවිවලට එරෙහිව ලන්ඩන් නුවර පවත්වන ලද ‘ඇල්ඩර්‍මැස්ටන්’ වාර්‍ෂික පා ගමන ලෝක අවි විරෝධී ව්‍යාපාරයේ සන්ධිස්ථානයක් බවට පත් වී ඇති බව සැබෑ ය. යුද්ධය, ගිනි අවි, ප්‍රචණ්ඩත්වය, දේශගුණික, යුක්තිය සහ සමාජ සමගිය වැනි කරුණු මුල් කොට පා ගමන් සංවිධානය වූ පසුබිමක වියට්නාමයේ පක්‍ද්ක්‍දාකර ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා කණ්ඩායම් දෙකක් ලෝක සාමය ප්‍රාර්‍ථනා කොට ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට වොෂින්ටන් දක්වා පයින් වැඩම කිරීම ‘සාමයේ පා ගමන’ මෑත ඉතිහාසයේ ලෝකයේ අති සාර්‍ථකත්වයට පත් පාද යාත්‍රාවක් විය. එම පාද යාත්‍රාවේ ගමන් කරනු ලැබූ ඉන්දියාවේ වීදි සුනකයා ‘ආලෝකා’ මුළු ලෝකයේම ආදරයට, කරුණාවට පාත්‍ර වූ බව ද සැබෑ ය. වියට්නාම් පක්‍ද්ක්‍දාකර ස්වාමීන් වහන්සේට වඩා පා ගමනේ ගිය ආලෝකා ජනප්‍රිය වූ බව අතිශෝක්තියක් නොවේ. එහෙත් ‘සාමයේ පාද යාත්‍රාවෙන්’ බෞද්ධ භික්‍ෂුන් වහන්සේ සම්බන්ධයෙන් බහුතරයක් වූ ඇමෙරිකානුවන් තුළ ධනාත්මක ප්‍රතිරූපයක් ගොඩනැඟුණු බව ද සැබෑ ය. මඟ දෙපසට එක්‍රොක් වූ ඇමෙරිකානුවන් පා ගමනින් වැඩම කරන භික්‍ෂුන් වහන්සේට මල් පිළිගැන්වීම, ආබාධිත පුද්ගලයන්ට ආශිර්‍වාද ලබාගැනීම ලෝක අවධානයට යොමු විය. මෙරට ඉතිහාසයේ ද දේශපාලනික සහ සමාජීය, ආගමික අරමුණු මුදුන්පත් කරගෙන පා ගමන් ගිය අවස්ථා බොහෝ ය. 1920 – 1940 දශකවල ඒ. ඊ. ගුණසිංහ වැනි කම්කරු නායකයන් කොළඹ නගරය කේන්ද්‍රකර ගනිමින් කම්කරු අයිතිවාසිකම් දිනාගැනීමට පෙළපාලි සහ පා ගමන් විරෝධතා දක්වා ඇත. නිදහසින් පසු 1957 වර්‍ෂයේදී බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුමට එරෙහිව ජේ. ආර්. ජයවර්‍ධනගේ නායකත්වයෙන් කොළඹ සිට මහනුවර දක්වා සංවිධානය කළ පා ගමන මෙරට දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී පා ගමනකි. එහෙත් එම පා ගමනට ඉඹුල්ගොඩදී බැරියර් වැටී ඇත. 1992 වර්‍ෂයේදී මහින්ද රාජපක්‍ෂ මහතාගේ මූලිකත්වයෙන් එවකට පැවති එක්සත් ජාතික පක්‍ෂ රජයට එරෙහිව කොළඹ සිට කතරගම දක්වා දින 17ක පා ගමන ද මෙරට දේශපාලනයේ බල පෙරළියකට දැවැන්ත බලපෑමක් වූ බව සැබෑ ය. 2016 වර්‍ෂයේදී ඒකාබද්ධ විපක්‍ෂයේ පා ගමන ද ප්‍රබල ජන හඬක් වූ බව ප්‍රසිද්ධ ය. විවිධ දේශපාලන අරමුණු මුදුන්පත් කරගැනීම සඳහා ඒ, ඒ දේශපාලන පක්‍ෂ නායකයන් සහ ආධාරකරුවන් පා ගමන්, පෙළපාලි සංවිධානය කිරීම මෙරටට සාමාන්‍ය තත්ත්වයකි. නිදහස් අධ්‍යාපනය රැකගැනීම, වැටුප් විෂමතා ඉවත් කිරීම වැනි ඉල්ලීම් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩය සහ වෘත්තීය සමිති විසින් පා ගමන් යෑම ද රටට අරුමයක් නොවේ. කාන්තා දිනයට කාන්තා පා ගමන්, අමද්‍යප දිනයට පා ගමන්, විවිධ ආගමික උත්සව ප්‍රධාන කොට පා ගමන් සංවිධානය වන බව සැබෑ ය. සම ලිංගික අයිතීන් වෙනුවෙන් ද පා ගමන් ගිය අයුරු අපට මතක ය. කම්කරු දින පා ගමන කාලයත් සමග පෙළපාලියක් බවට පරිවර්‍ථනය විය. ඒ අනුව පෙළපාලිය ද පා ගමනේම විකාශනයක් බව සැබෑ ය. පරිවර්‍ථනය වූ පා ගමනට රථ වාහන එකතුවීම, ජනතා ආකර්‍ශනය වැඩි කරගැනීමට විවිධ කලා අංග මිශ්‍ර කිරීම ද සිදුවෙමින් පවතී. පා ගමන් අතර තරගයක් නිර්‍මාණය වෙමින් තිබෙන බව ද පෙනේ. එමෙන්ම පා ගමන සහ පෙළපාලිය මෙරටට සුලභ වී ඇත. සුලභවීමත් සමග වටිනාකම, ගාම්භීරත්වය හීන වී යෑම ද සාමාන්‍ය තත්ත්වයකි. ඉන්දියාවේ දණ්ඩි පා ගමන ‘මොඩ්’ වූ පා ගමන් සුලභ වූ පසුබිමක ඇමෙරිකාවේ අති සාර්‍ථක ලෙස අවසාන වූ බෞද්ධ ස්වාමීන් වහන්සේගේ ‘සාමයේ පා ගමන’ ද මෙරට නුවර සිට කොළඹ දක්වා පැමිණීම අසාර්‍ථක වූ බව විද්වත් අදහස ය. මෙරට අසාර්‍ථක ව්‍යාපෘතියක් වූ ‘පක්‍ද්ක්‍දාකර හාමුදුරුවන්ගේ සාමයේ ගමනට’ ටික කාලයකට පසු ඥානසාර හාමුදුරුවන් නැවත සිරගත කොට සිවුර ගැලවීමත් සමග උද්ගත වූ තත්ත්වය යටතේ භික්‍ෂුන් වහන්සේලා සහ බෞද්ධ විශාල පිරිසක් මහනුවර සිට කොළඹට පයින් ගමන් කළහ. ආරම්භයේ සිට ඥානසාර හාමුදුරුවන්ට සිවුරු ඇන්දවීමේ පැහැදිලි සහ අවිහිංසාවාදී අරමුණ මුදුන්පත් කොට පැමිණි පා ගමන කඩවතදී මහ සෙනඟක් එකතුවීමත් සමග උන්වහන්සේට නිදහස ලබාගැනීම දක්වා ප්‍රබල විය. මහ වැසි මැද කඩවත සිට කොළඹ ජනාධිපති කාර්‍යාලය ඉදිරිපිටට පැමිණි පා ගමන කිහිපදෙනෙක් විසින් හාලා මඩ කර, විහාරමහාදේවි උද්‍යානයත් මඩ කර ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ට සහනයක් ලබාගැනීමට යම් අවකාශයක් තිබුණා නම් එය ද අහුරා දැමූහ. ඊට ටික දවසකට පසු තවත් භික්‍ෂුන් වහන්සේ නමක් නයි භස්තමක් රැගෙන නුවර සිට පහළට මහ මග පයින් වැඩම කළහ. විකාර රූපී පා ගමන් දැක කෝපයට පත්ව සිටි ජනතාව උන්වහන්සේට කඩුගන්නාවෙන් පහළට වැඩම කිරීමට ඉඩ ලබා නොදී, සුද්ද සිංහලෙන් ආමන්ත්‍රණය කොට පා ගමන කඩාකප්පල් කරන අයුරු ද සමාජ මාධ්‍යයෙන් අපි දුටිමු. ඒ උණුසුම මැකී යෑමට මත්තෙන් ගඟසිරිපුර හාමුදුරුවෝ මහ මඟට බැස අමද්‍යප අදහසක් මුදුන්පත් කොට ‘මතින් තොර ලස්සන පවුලක්’ නිර්‍මාණය කිරීම උදෙසා අධික වේගයෙන් පා ගමනින් වැඩම කරමින් සිටිති. බෞද්ධ ජනතාවගේ හද මඩල අරක් ගත් ගඟසිරිපුර හාමුදුරුවෝ හදිස්සියෙන් වැඩම කරන පා ගමන ගැන විවිධ මත ඉදිරිපත් වෙමින් තිබේ. එම ජනතා අදහස් පෙළගැසෙන සටහනට අපි ඇතුළත් නොකරමු. මෑත කාලයේ මෙරට පා ගමන් ගැන ආචාර්‍ය චමිල ලියනගේ මහතා දැක්වූ අදහස් අපි මෙසේ ඉදිරිපත් කරමු. “මෑත කාලයේ සංවිධානය වෙච්ච සියලුම පා ගමන් ‘පෙළහරක් නැතිව අයාලේ ඇවිද යන පා ගමන්. අරමුණක් නැති පා ගමන් දැකල රටේ ජනතාවට පා ගමන් මහ මඟ අවහිර කරන විගඩමක් වෙලා තියෙනවා. පා ගමන් දකිනකොට අප්‍රසන්න හැඟීමක් මතු වන ස්වභාවයක් ඉස්මතු වෙමින් තියෙනවා. ඒ වගේම දේශපාලනඥයෝ මැයි දිනයට පයින් ඇවිදිනව වගේ අරහත් ධජය පොරවාගත් භික්‍ෂුන් වහන්සේ මහ මඟ වැඩම කරනකොට සමාජයට වැරැදි ආදර්‍ශයක් යනවා. යම් අරමුණක් උදෙසා භික්‍ෂුන් වහන්සේනමක් මහ මඟ පා ගමනින් වැඩම කරනකොට ආධ්‍යාත්මික වශයෙන් අධිෂ්ඨනයක්, භාවනාවක්, සංයමයක් ගැබ්විය යුතුයි. වර්‍තමානයේ පා ගමනින් වැඩම කරන භික්‍ෂුන් වහන්සේගෙන් එවැනි සංයමයක් දකින්න ලැබෙන්නේ නෑ. ඒ වගේම මෙරට සංඝ සමාජයට හතර වටෙන්ම පහරදෙන පසුබිමක භික්‍ෂුන් වහන්සේලා අවම වශයෙන් අවුරුදු දෙකක්වත් නිශ්ශබ්දව ඉන්න ඕනෑ. එහෙම නොවෙන්න මෙරට භික්‍ෂු ශාසනය තව, තවත් පිරිහෙන්න ඉඩ තියෙනවා…” ආචාර්‍ය චමිල ලියනගේ මහතාගේ අදහස් දැක්වීමට සමාන පැහැදිලි කිරීමක් මහාචාර්‍ය ඥානදාස පෙරේරා මහතා ද කළේ ය. ඒ සියලු අදහස්වල සංශිප්තයකින් පෙළගැසෙන සටහන අවසාන කිරීමට අපි අදහස් කළෙමු. රටක පුරවැසියන්ට අයිතිවාසිකම් නොලැබෙන, ජනතාව බිත්තියට හේත්තු කොට පීඩාවට පත් කරන පසුබිමක එරට ජනතාව ඊට එරෙහිව විවිධාකාරයෙන් විරෝධතාවයන් ප්‍රකාශ කිරීම සාමාන්‍ය තත්ත්වයකි. සාමකාමීව විරෝධතාවය ප්‍රකාශ කර ඉල්ලීම් නොලැබෙන විට ප්‍රචණ්ඩත්වයට නැඹුරුවීම මනුෂ්‍ය ස්වභාවයකි. රටක පාලන තන්ත්‍රය පුරවැසියන්ගේ අයිතිවාසිකම් ලබා දෙන්න එරට උද්ඝෝෂණ, පාගමන්, පෙළපාලි සංවිධානගත නොවේ. මෙරට ද උද්ඝෝෂණ, පා ගමන් දැකගැනීමට නොතිබූ කාලවකවානු තිබිණි. එහෙත් මෑත කාලයේදී උද්ඝෝෂණ, පා ගමන් සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබේ. සාමාන්‍යයෙන් ලෝකයේ රටවල ආණ්ඩු පක්‍ෂ පා ගමන් යන ප්‍රවණතාවයක් නැත. එහෙත් මෙරට විපක්‍ෂයේ පා ගමන්වලට එරෙහිව ආණ්ඩු පක්‍ෂයේ ද ආධාරකරුවන් පා ගමන් යන අයුරු පසුගිය දිනවලදී දැකගැනීමට ලැබිණි. එවැනි පසුබිමක පුද්ගල අභිමතාර්‍ථ, වෙනත් අරමුණු සාක්ෂාත් කරගැනීම අරඹයා ද පා ගමන් සංවිධානය වන බව පෙනේ. උතුරේ විවිධ ප්‍රදේශවල හිටපු එල්.ටී.ටී.ඊ. නායකයන්ගේ පින්තූර රැගත් පා ගමන්, පෙළපාලි සංවිධානය වෙමින් තිබෙන අයුරු පසුගිය දිනවල මාධ්‍යයෙන් වාර්‍තා කෙරිණි. එම පා ගමන්, පෙළපාලි හමුවේ එම ප්‍රදේශවල ආරක්‍ෂක කටයුතුවල නිරත ආරක්‍ෂක නිලධාරීන් ද අසරණ වී සිටින අයුරු ප්‍රදර්‍ශනය විය. මේ සෑම පා ගමනක් අතරතුරදීම මගී ජනතාව, මහ මඟ වාහන ධාවනය කරන රියැදුරන් දැඩි අපහසුතාවයන්ට පත්වන බව සැබෑ ය. වටිනා කාලය නිකරුණේ මහ මඟ දැවී යන්නේ ය. පටු අභිමතාර්‍ථ මුදුන්පත් කරගැනීමට මහජනතාවගේ කාලය කා දැමීම කාලකණ්ණි ක්‍රියාවකි. ඒ අපගේ අදහසක් නොවේ, ජනතාවගේ අදහස ය. ඥානසාර හිමි වෙනුවෙන් පැමිණි පා ගමන තරංග රත්නවීර
99mobile