
හදවතින් ඇරඹි සමාජය පුබුදුවන මානවීය විප්ලවය
FM Heart · 5 min read
ලලිත් ද සිල්වාගේ ‘කෘතඥතාව – නව පිබිදීමක් කරා’ කෘතිය පිළිබඳ විචාරාත්මක කියැවීමක් අප ජීවිතයේ සාර්ථකත්වය ගැන බොහෝ දේ කතා කරමු. ධනය, බලය, තනතුරු, අධ්‍යාපනය සහ වෘත්තීය ජයග්‍රහණ ඒ අතර ප්රමුඛ වේ. එහෙත් ඒ සාර්ථකත්වය කරා අප කැඳවාගෙන ආ මිනිසුන්ගේ දායකත්වය අප කොතරම් දුරට සිහිපත් කරන්නේද? අපට අතදුන් දෙමාපියන්, ගුරුවරුන්, මිතුරන් සහ නිහඬව අප වෙනුවෙන් කැප වූ මිනිසුන්ට අපගේ කෘතඥතාව සැබෑ ජීවිතයේ දී ප්‍රකාශ වන්නේද? ලලිත් ද සිල්වා මහතා විසින් රචනා කරන ලද, ඉරුමා රත්නායක මහත්මිය සිංහලයට පරිවර්තනය කළ ‘කෘතඥතාව – නව පිබිදීමක් කරා’ කෘතිය අප ඉදිරියේ තබන්නේ එවැනි ගැඹුරු ජීවන ප්රශ්නයකි. මෙය කෘතඥතාව පිළිබඳ සාමාන්‍ය උපදේශාත්මක කෘතියකට වඩා පුළුල් අර්ථයක් සහිත, පුද්ගල ජීවිතයත් සමාජ පැවැත්මත් නැවත විමසා බැලීමට ආරාධනා කරන කෘතියකි. ස්තුතියට එහා ගිය ජීවන දර්ශනයක් මෙම කෘතියේ මූලික ශක්තිය වන්නේ කෘතඥතාව හුදෙක් ‘ස්තුතියි’ යන වචනයට සීමා නොකිරීමයි. යමෙකු කළ උපකාරයක් සිහිපත් කිරීමත්, එහි වටිනාකම හඳුනාගෙන ඒ යහපත තවත් කෙනෙකු වෙත ගෙන යෑමත් අතර වෙනසක් පවතී. කතුවරයා අවධාරණය කරන්නේ සැබෑ කෘතඥතාව වචනයකින් අවසන් නොවී ක්‍රියාවක් බවට පත්විය යුතු බවයි. ඒ අනුව කෘතඥතාව යනු හුදෙක් නාම පදයක් නොව එය ක්‍රියා පදයක් වැනිය. අපට අධ්‍යාපනය ලබාදුන් ගුරුවරයාට ස්තුති කිරීම වටිනාය. එහෙත් අපගේ සාර්ථකත්වයෙන් තවත් දරුවෙකුගේ අධ්‍යාපනයට අත දීම එම කෘතඥතාව වඩාත් උසස් මට්ටමකට ගෙන යයි. මේ අනුව කෘතඥතාව පෞද්ගලික හැඟීමක සිට සමාජ වගකීමක් දක්වා වර්ධනය වන ආකාරය මෙම කෘතිය අපට පැහැදිලි කරයි. අපට ලැබුණු යහපත පිළිබඳව සතුටු වීමෙන් පමණක් නොනැවතී, අප තවත් කෙනෙකුට එවැනි යහපතක් සිදු කළ යුතුය. මෙය වැදගත් සංකල්පීය පරිවර්තනයකි. ආගමික දර්ශනයෙන් විද්‍යාත්මක විමර්ශනයට ප්‍රධාන කොටස් හයකින් සහ පරිච්ඡේද විස්සකින් සමන්විත මෙම කෘතියේ විශේෂත්වයක් වන්නේ එහි අන්තර්විෂයීය ප්රවේශනයයි. බුදුදහම ඇතුළු ලෝකයේ ප්‍රධාන ආගමික සම්ප්‍රදායන්, දර්ශනය, මනෝවිද්‍යාව, ස්නායු විද්‍යාව, මානසික හා ශාරීරික සෞඛ්‍යය, අධ්‍යාපනය, නායකත්වය සහ සමාජ සංවර්ධනය යන විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මෙම කෘතිය තුළ කෘතඥතාව විමසා බැලේ. බෞද්ධ දර්ශනය තුළ එන කතඤ්ඤුතා සහ කතවේදිතා යන සංකල්ප මෙහිදී විශේෂ වැදගත්කමක් ගනී. තමන්ට කළ යහපත හඳුනාගැනීමත්, එම යහපතට සුදුසු යහපත් ප්‍රතිචාර නිසි මොහොතේ දැක්වීමත් එම සංකල්පවල මූලික අර්ථයයි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු බෝධීන් වහන්සේට කෘතඥතාව පළ කළ බව දැක්වෙන අනිමිසලෝචන පූජාව ද මේ සඳහා අර්ථවත් නිදසුනක් ලෙස ඉදිරිපත් වේ. එසේම ක්‍රිස්තියානි සම්ප්රදායේ ස්තුති කිරීමේ ආකල්පය, ඉස්ලාමීය සම්ප්රදායේ ශුක්ර් සංකල්පය සහ හින්දු සම්ප්රදායේ ගුරු හා දෙමාපිය ගෞරවය ද කෘතඥතාවේ පොදු මානවීය වටිනාකම පැහැදිලි කිරීමට යොදාගෙන තිබේ. බහුආගමික හා බහුසංස්කෘතික ශ්‍රී ලංකාවට මෙවැනි ප්‍රවේශයක් විශේෂයෙන් වැදගත්ය. මෙම කෘතියේ තවත් සුවිශේෂී අංගයක් වන්නේ කෘතඥතාව නූතන මනෝවිද්‍යාව සහ ස්නායු විද්‍යාව සමග සම්බන්ධ කර විමසා බැලීමයි. මානසික සුවතාව, ආතතිය, මොළයේ රසායනික ක්‍රියාකාරීත්වය සහ මානව සම්බන්ධතා පිළිබඳ සාකච්ඡා මඟින් කතුවරයා මෙම ගුණාංගයේ විවිධ පැතිකඩ පාඨකයාට හඳුන්වාදෙයි. ජීවිතයට එකතු කරගත හැකි ප්‍රායෝගික මඟපෙන්වීමක් මෙම කෘතියේ තවත් ප්‍රසංසනීය ලක්ෂණයක් වන්නේ න්‍යායාත්මක අදහස්වලට පමණක් සීමා නොවී ප්‍රායෝගික අභ්‍යාස ඉදිරිපත් කිරීමයි. විශේෂයෙන් දෛනික කෘතඥතා සටහන් පොත සහ දින තිහක කෘතඥතා චාරිකාව වැනි අභ්‍යාස පාඨකයාට තම ජීවිතය තුළ මෙම ගුණාංගය පුරුද්දක් බවට පත් කරගැනීමට මඟ පෙන්වයි. පුරුදු යම් කලෙක පුද්ගල පෞරුෂය සකස් කරයි. දිනපතා තමන් කෘතඥ වන කරුණු තුනක් සටහන් කිරීම, තම ජීවිතයට යහපත් දායකත්වයක් ලබාදුන් පුද්ගලයෙකු හඳුනාගැනීම සහ ඔහුට හෝ ඇයට කෘතඥතාව ප්‍රකාශ කිරීම වැනි සරල ක්‍රියාකාරකම් මෙහි අන්තර්ගතය. මෙවැනි අගනා අභ්‍යාස අප ජීවිතය දෙස බලන ආකාරය වෙනස් කිරීමට අවස්ථාව සලසයි. තවමත් නොලියූ ස්තුති පත්‍ර ලිවීමට සිහිපත් කරවයි. විශේෂයෙන් දරුවන්ට කෘතඥතාව ඉගැන්වීම පිළිබඳ පරිච්ඡේදය දෙමාපියන්ට සහ ගුරුවරුන්ට වැදගත් මඟපෙන්වීමකි. කෘතඥතාව වචනයෙන් කියා දෙනවාට වඩා වැඩිහිටියන්ගේ හැසිරීමෙන් ආදර්ශවත් කිරීමේ වැදගත්කම කතුවරයා පෙන්වා දෙයි. එසේම සේවා ස්ථානවල සියලු සේවකයන්ගේ දායකත්වය අගය කිරීම, නායකත්වය තුළ කෘතඥතාව වර්ධනය කිරීම සහ ප්‍රජාව තුළ අන්‍යොන්‍ය ගෞරවය ඇති කිරීම පිළිබඳව ද අවධානය යොමු කරයි. ඒ අනුව කෘතඥතාව යනු පරමාදර්ශය යි. විචාරාත්මක අවධානය කෘතියේ විද්‍යාත්මක කරුණු පිළිබඳ සාකච්ඡාව කියවීමේදී යම් විචාරාත්මක අවධානයක් ද අවශ්‍ය වේ. කෘතඥතාව සහ මානසික හෝ ශාරීරික සෞඛ්‍යය අතර පෙන්වාදෙන සම්බන්ධතා සියල්ල ඍජු හේතුඵල සම්බන්ධතා ලෙස නොගත යුතුය. එමෙන්ම කෘතඥතාව දුෂ්කරතා, අසාධාරණකම් හෝ සමාජ අසමානතා ඉවසා සිටීමට යොදාගත යුතු සංකල්පයක් ද නොවේ. කතුවරයාගේ මූලික පණිවිඩය වඩාත් නිවැරදිව භාවිත කිරීමට මෙම වෙනස හඳුනාගැනීම වැදගත්ය. මෙවැනි කරුණු කෘතියේ සමස්ත අදහස පිළිබඳ තවදුරටත් සංවාද කිරීමට අපට අවස්ථාව සලසයි. කියවිය යුතු පොතක් පමණක් නොව ජීවත් වියයුතු පණිවිඩයක් ලලිත් ද සිල්වා මහතාගේ මෙම කෘතිය දෙමාපියන්ට, ගුරුවරුන්ට, විශ්වවිද්‍යාල සිසුන්ට, වෘත්තිකයන්ට, නායකයන්ට මෙන්ම යහපත් ජීවිතයක් පිළිබඳව සිතන ඕනෑම පාඨකයෙකුට වැදගත්වේ. ඉරුමා රත්නායක මහත්මියගේ සිංහල පරිවර්තනය නිසා මෙම විෂයයන් සිංහල පාඨකයා වෙත සමීප කර තිබීම ද අගය කළ යුතුය. අවසානයේ මෙම කෘතිය අපට සිහිපත් කරන්නේ සරල නමුත් ගැඹුරු සත්‍යයකි. කිසිවෙකු තනිවම සාර්ථක වී නැත. අපගේ ජීවිතය පිටුපස බොහෝ මිනිසුන්ගේ ආදරය, ශ්‍රමය, කැපවීම සහ සහයෝගය පවතී. එම දායකත්වය හඳුනාගැනීම නිහතමානීත්වයේ ආරම්භයයි. එය අගය කිරීම කෘතඥතාවයි. එම යහපත තවත් කෙනෙකු වෙත ගෙනයෑම මානවීය වගකීමයි. මෙම කෘතියේ කතුවර ලලිත් ද සිල්වා මහතා එම වගකීමට දශක ගණනාවක සිට උරදෙන සත්පුරුෂයෙකි. සැබෑ කෘතඥතාව යනු අපට ලැබුණු යහපත වෙනුවෙන් වචනයෙන් ස්තුති කිරීම පමණක් නොව, ඒ යහපත තවත් කෙනෙකුගේ ජීවිතයට දායාද කිරීමයි. ඒ අර්ථයෙන් ‘කෘතඥතාව – නව පිබිදීමක් කරා’ යනු කියවා අවසන් කළ යුතු පොතකට වඩා, නැවත නැවත කියවා ජීවිතය තුළ ක්‍රියාවට නැංවිය යුතු මානවීය ආරාධනයකි. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයනාංශය කැලණිය විශ්වවිද්‍යාලය

