FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

පාලකයා හොදයි නම් රට සෞභාග්‍යමත් වෙනවා.. දූෂිත නම් රට අරාජික වෙනවා - ජනපති

FM Heart · 2 min read

The Heart Academy
කැලණිය නාගානන්ද අන්තර්‍ජාතික බෞද්ධ විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේදී අද (28) පැවති ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සර උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. රටවල් 50ක් නියෝජනය කරමින් වැඩම කළ නායක ස්වාමීන් වහන්සේලාගේ මෙන්ම ත්‍රෛනිකායික මහනාහිමිවරුන්, අනුනායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ සහ දෙස් විදෙස් ගිහි ජනතාවගේ විශාල සහභාගීත්වයෙන් මෙම සමුළුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ කෙරුණි. 1966 වසරේදී ශ්‍රී ලංකාවෙන් ආරම්භ වූ ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ මූලික අරමුණ ලෝක සාමය වන අතර, මෙම 60 වැනි සංවත්සරය නිමිත්තෙන් නාගානන්ද බෞද්ධ අධ්‍යයන ආයතනය විවෘත කිරීම සහ එහි සමරු ඵලකය නිරාවරණය කිරීමද මෙහිදී සිදු විය. සමුළුව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, මිහිඳු මාහිමියන් විසින් දේශනා කරන ලද පේතවත්තු සහ විමානවත්තු දේශනා මෙරට ජනතාවගේ ආගමික විශ්වාසයන් ප්‍රතික්ෂේප නොකරමින් බුදු දහමේ හරය හඳුන්වා දීමට දැරූ ප්‍රයත්නයක් ලෙස සැලකෙන බවයි. පාලකයාගේ ස්වභාවය මත රටේ පැවැත්ම තීරණය වන බවත්, එම කාරණය සකලවිධ රාජ්‍යයන්ටම අදාළ බැවින් බුදු දහම ප්‍රායෝගික සහ සර්‍වකාලීන දහමක් බවට පත්ව ඇති බවත් ඒ මහතා සඳහන් කළේය. එමෙන්ම කූටදන්ත සූත්‍රය තුළින් බුදුන් වහන්සේ අපූරු ආර්‍ථික දර්‍ශනයක් ඉදිරිපත් කර ඇති බව පැවසූ ජනාධිපතිවරයා, රටක අපරාධ, සොරකම් සහ කැරලි ඇති වන විට දඬුවම් දීමෙන් පමණක් ඒවා මර්‍දනය කළ නොහැකි බව කියා සිටියේය. ඒ සඳහා රටේ ආර්‍ථිකය ශක්තිමත් කළ යුතු බවත්, ගොවියාට බීජ හා පහසුකම් ලබා දීම, වාණිජ කටයුතු සඳහා ප්‍රාග්ධනය සැපයීම සහ රාජ්‍ය සේවකයාට සාධාරණ වැටුපක් ලබා දීම තුළින් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වී රටේ සාමය ඇති වන බවත් ඔහු පෙන්වා දුන්නේය. ඒ අනුව රටේ දිළිඳුකම තුරන් කිරීම සඳහා ධනෝත්පාදන මාර්‍ග පුළුල් කර සැමට සාධාරණ අවස්ථා හිමි වන සමාජයක් නිර්‍මාණය කිරීම පාලකයාගේ පළමු වගකීම බව බුදුන් වහන්සේ දේශනා කර ඇතැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 11 වන මහා සභාවේ දෙවන විධායක කමිටු සභාවාරය ඇතුළු ආගමික වැඩසටහන් රැසක් හෙට (29) සිට දෙසැම්බර් මස 02 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.
99mobile