
පාර්ලිමේන්තුවේත් මහවිරු සැමරුමක්...
FM Heart · 2 min read
මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්‍යම් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂන්මුගම් කුගදාසන් යන මහත්වරුන් පාර්ලිමේන්තුවේ කාමරයක් තුළදී මෙම උපහාරය දක්වා ඇති බව රාසමාණික්‍යම් මන්ත්‍රීවරයා සිය Instagram ගිණුමේ වීඩියෝවක් පළ කරමින් සඳහන් කර තිබේ. රතු සහ කහ පැහැති රෙදිකඩක් එළන ලද මේසයක් මත තැබූ නියඟලා මලක ඡායාරූපයක් ඉදිරිපිට ඔවුන් දෙදෙනා ඉටිපන්දම් දල්වා දෑත් බැඳ නිහඬව සිටින ආකාරය එම වීඩියෝවේ දැක්වේ. "අපේ ජනතාවගේ අයිතිවාසිකම් සහ විමුක්තිය වෙනුවෙන් ජීවිත පූජා කළ මහවිරුවන් සහ යුද්ධයේ බිහිසුණු බවින් මියගිය අපගේ ඥාතීන් සිහිපත් කරන කාර්තිගෙයි 27 වන දින, අද මම පාර්ලිමේන්තුවේදී ඔවුන්ට මගේ හෘදයාංගම උපහාරය පුද කළෙමි," යනුවෙන් රාසමාණික්‍යම් මන්ත්‍රීවරයා සිය සටහනේ සඳහන් කර ඇත. මෙම දිනය සිය ජනතාවගේ ඉතිහාසයේ ගැඹුරු වේදනාවක් සහ නොමැකෙන මතකයන් රැගත් දිනයක් බවත්, බොහෝ මව්වරුන්ට සිය දරුවන් අහිමි වී පවුල් රැසක් සිය ආදරණීයයන්ගෙන් වෙන් වූ බවත් ඔහු එහි වැඩිදුරටත් ලියා තිබේ. මේ අතර, අයවැය සැසිවාර සඳහා කොළඹට පැමිණ සිටි තවත් දෙමළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද මීට පෙර සතිය තුළදී උපහාර දක්වා තිබේ. වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී තුරෙයිරාජා රවිහරන් මහතා මියගිය සටන්කරුවන්ගේ සුසාන භූමියක ඡායාරූපයක් ඉදිරිපිට පහන් දල්වා මල් තබා උපහාර දක්වා ඇති අතර, මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා පාර්ලිමේන්තු සභා ගර්භයේ සිට ඔවුන්ට ගෞරව දක්වා ඇති බවද වාර්තා වේ.

