FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

කවුරු කැමැති වුණත් අකැමැති වුණත් වගා කරන කුඹුරුවලින් තුනෙන් එකක් නතර කරන්න වෙනවා - කෘෂිකර්‍ම ඇමති ලාල්කාන්ත හෙළි කරයි

FM Heart · 2 min read

The Heart Academy
කවුරුන් කැමැති වුණත් අකැමැති වුණත් දැනට වගා කරන කුඹුරු බිම් ප්‍රමාණයෙන් තුනෙන් එකක (1/3) වී වගා කිරීම නතර කිරීමට සිදුවන බව කෘෂිකර්‍ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේය. පෙරේදා (26) පොලොන්නරුව, හිඟුරක්ගොඩ ගල්අමුණ ප්‍රදේශයේ පැවැති 'සුපිරි වී යාය' වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී ඔහු අවධාරණය කළේ දැනට වගා කරන කුඹුරුවලින් අවම වශයෙන් තුනෙන් එකකවත් වී වගාව නතර නොකළහොත් ගොවීන්ට, කෘෂිකර්‍මාන්තයට මෙන්ම රටේ ආර්‍ථිකයටද බරපතළ අර්‍බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි. වී අතිරික්තය සහ මිල ගැටලුව වත්මන් තත්ත්වය පැහැදිලි කරමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ වී අලෙවි මණ්ඩලය සතුව පවතින වී තොග වෙළෙඳපොළට නිකුත් කළහොත් වී මිල මෙන්ම සහල් මිලද තවදුරටත් පහත වැටෙන බවයි. සහල් මිල ඕනෑවට වඩා පහත හෙළිය නොහැකි බැවින් සහල් පදනම් කරගත් විකල්ප විසඳුම් සෙවිය යුතු බවත්, එළැඹෙන මාස් කන්නයේ අස්වැන්න නෙළීමට පෙර බරපතළ අභියෝගයක් මතුවිය හැකි බවත් ඔහු සඳහන් කළේය. වී වගා කළද එය අලෙවි කර ගැනීමට ප්‍රමාණවත් වෙළෙඳපොළක් නොමැති බවත්, දැනටමත් තොග පිරී පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. විකල්ප බෝග වගාවට යොමුවීමේ අවශ්‍යතාව වී වගාව ආර්‍ථික බෝගයක් ලෙස සැලකිය නොහැකි බව පෙන්වා දුන් ලාල්කාන්ත මහතා, වෙනත් බෝග වගාවට ගොවීන් යොමු වීමේ අවශ්‍යතාව අවධාරණය කළේය: කුරක්කන් වගාව: හම්බන්තොට ප්‍රදේශයෙන් ආරම්භ කළ වැඩපිළිවෙළ යටතේ කුඹුරු අක්කරයකින් අටෙන් එකක (1/8) කුරක්කන් වගා කිරීමට යොමු වන ලෙස ඉල්ලා සිටි අතර, ඒ සඳහා අමතර දිරිගැන්වීමක් ලෙස රුපියල් 10,000ක මුදලක් ලබා දෙන බව සඳහන් කළේය. කුරක්කන් ආර්‍ථික බෝගයක් බවට පත් කළ හැකි බවද ඔහු පැවසීය. අතිරේක හා අපනයන බෝග: පොල්, කුරුඳු, කෙසෙල්, අඹ, බඩ ඉරිඟු, අන්නාසි, වරකා, කොස් සහ පොලොස් වැනි බෝග සැලකිය යුතු ප්‍රමාණයකින් වගා කිරීම අත්‍යවශ්‍ය බවත්, ඒවාට වෙළෙඳපොළ ගැටලු ඇති නොවන බවත්, අපනයනය සඳහා දැනටමත් කටයුතු සූදානම් කරමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
99mobile