FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

නාමල්ට ඇප දුන්නාට එරෙහිව අල්ලස් කොමිසමේ පෙත්සම ගැන නියෝගය 18 වැනිදා

FM Heart · 4 min read

The Heart Academy
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්‍ශන කොමිෂන් සභාව විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ හතරවන සැකකාර පාර්‍ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට ඇප ලබාදෙමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය 03 වැනිදා නිකුත් කළ ඇප නියෝගය බලරහිත කරන ලෙස හා සිය ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගෙන තීන්දුවක් ලබාදෙනතුරු එකී ඇප නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අල්ලස් හෝ දූෂණ විමර්‍ශන කොමිෂන් සභාව ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් නියෝගය ලබන 18 වැනිදා නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ලාල් ආර්. බණ්ඩාර මහතා ඊයේ (13දා) පස්වරුවේ දින නියම කළේය. එමෙන්ම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් එයාර් බස් ගනුදෙනුවේ සැකකරුවකු ලෙස නම්කර ඇති තමා වෙනුවෙන් සිය නීතිඥවරුන් ඉල්ලා සිටි ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරමින් 2026.10.25 වැනිදා නිකුත් කළ නියෝගය ප්‍රතිශෝධනය කර තමා ඇප මත මුදාහැරීමට නියෝගයක් කරන ලෙස ඉල්ලා නාමල් රාජපක්‍ෂ මහතා විසින් සිය නීතිඥවරුන් මාර්‍ගයෙන් ගොනු කර ඇති ප්‍රතිශෝධන අයැදුම්පත සලකා බැලීම සඳහා ලබන 25 වැනිදා පස්වරු 2.00 ට කැඳවීමට ද ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය. එම ප්‍රතිශෝධන පෙත්සම් දෙක ඊයේ (13දා) පස්වරුවේ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ලාල් ආර්. රණසිංහ මහතා ඉදිරියේදී කැඳවිණි. එහිදී අල්ලස් හෝ දූෂණ විමර්‍ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් තනුජා බණ්ඩාර මහත්මිය කරුණු දක්වමින් ලද පැමිණිල්ලක් අනුව පරීක්‍ෂණ පැවැත්වූ තම කොමිෂන් සභාව ඉදිරිපත් වූ සාක්‍ෂි අනුව හතරවන සැකකාර වගඋත්තරකාර නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබූ බවත් මෙම සැකකරු සිදුකර ඇති වරද තහවුරු කිරීම සඳහා දූෂණ විරෝධී පනතේ 149 (1) වගන්තිය ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ විමර්‍ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් අධිකරණයට සහතිකයක් ඉදිරිපත් කොට තිබූ බවත් පැවැසුවාය. එකී පනත ප්‍රකාරව එවැනි සහතිකයක් නිකුත් කර තිබෙන විටකදී අධිකරණය විසින් එකී නඩු විභාගය අවසන් වනතුරු රක්‍ෂිත බන්ධනාගාරගත කළ යුතුව තිබුණත් මෙකී සැකකාර වගඋත්තරකරු එලෙස ඇප මත මුදාහැරීම නීති විරෝධී වන්නාසේම එය ඉදිරි විමර්‍ශනවලට ඉතා අගතිදායක කරුණක් වන්නේ යැයි ද තනුජා ලක්මාලී මහත්මිය අධිකරණයට කීවාය. එබැවින් නෛතික දෝෂ සහිත උගත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නිකුත් කර ඇති එකී ඇප නියෝගය බලරහිත කරන ලෙසත් ප්‍රතිශෝධන පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙනතුරු එකී ඇප නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය. සිද්ධිය සම්බන්ධයෙන් සත්‍ය හෙළිකිරීමට මැලිකමක් දක්වා සිටි එම නඩුවේ පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් හතර වන සැකකරු රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුව බියකින් තොරව විමර්‍ශන සඳහා අවශ්‍ය ප්‍රකාශ ලබාදී ඇති බවත් එම සැකකරුට ඇප ලබාදීමෙන් පසුව අනෙක් සැකකරුවන් සත්‍ය ප්‍රකාශ කිරීමට මැලිකමක් දැක්වීම ඉදිරි විමර්‍ශනවලට දැඩි බාධාවක් වී ඇති බවත් තනුජා බණ්ඩාර මහත්මිය අධිකරණයට පැවසුවාය. මෙම නඩුවේ සැකකරුවන් හයදෙනකු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්‍තා කර ඇති බවත් මේ වනවිට අවසන් භාගයට විමර්‍ශන පැමිණ ඇති බවත් එහිදී අධිකරණයට කී සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් තනුජා බණ්ඩාර මහත්මිය එම හතරවන සැකකරුට බියෙන් හා තම ජීවිතයට එල්ල වී ඇති තර්‍ජන නිසා නඩුවේ සාක්‍ෂිකරුවකු වන නිමල් පෙරේරා නමැත්තා ශ්‍රී ලංකාවට නොපැමිණ ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින බවත් අධිකරණයට කීවාය. ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින වෙනත් නඩුවක් සම්බන්ධයෙන් ඇප ප්‍රතික්‍ෂේප කිරීමට එරෙහිව මෙම මහාධිකරණය සැකකරු ප්‍රතිශෝධන අයැදුම්පතක් ගොනුකර තිබීම හා මෙකී නඩුවට ඇප ලබාදීම ප්‍රතිශෝධන කරන ලෙසට තම කොමිෂන් සභාව කළ ඉල්ලීමට එරෙහිව සැකකරු වෙනුවෙන් පෙනී සිටින උගත් ජනාධිපති නීතිඥවරයා කරුණු දැක්වීම අනුව තමන්ට පෙනී යනුයේ ඔවුනට වාසිදායක නියෝගයක් ලැබුණ විට එය අගය කිරීමත් අවාසිදායක තීන්දුවක් ලැබුණ විට එය ප්‍රතික්‍ෂේප කිරීමක් වන්නේ යැයි තනුජා බණ්ඩාර මහත්මිය වැඩිදුරටත් අධිකරණයට කීවාය. අල්ලස් හෝ දූෂණ විමර්‍ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්‍ෂ ජනරාල්වරිය කළ එම කරුණු දැක්වීමට පිළිතුරු දෙමින් නාමල් රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසා සිටියේ උගත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම ඇප නියෝගය නිකුත් කර ඇත්තේ සියලු කරුණු සලකා බලා මානුෂික හේතූන් මත බවත් එකී නියෝගය ප්‍රතිශෝධනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බැවින් අල්ලස් කොමිෂන් සභාවේ එකී ප්‍රතිශෝධන අයැදුම්පත හා එකී ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරන ලෙස ඉල්ලා සිටින බවත්‍ය. සිය සේවාදායකයාගේ මව විවෘත හදවත් සැත්කමක් කර තිබියදී ඇය රැකබලා ගැනීමට ඉඩකඩ සලසමින් මහෙස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ එම ඇප නියෝගය අවලංගු කර සැකකරු යළි රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ඉල්ලා සිටිනුයේ මානුෂීය හැඟීම් නොමැති අයවලුන් වන්නේ යැයි ද එහිදී විවෘත අධිකරණය හමුවේදී පැවසූ ජනාධිපති නීතිඥවරයා මෙමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්‍ෂා කර ඇති මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන්නාසේම වයෝවෘද්ධ දෙමාපියන්ට සැලකීමට දරුවන්ට ඇති වගකීම ඉටුකිරීමට නොලැබෙන බවද පැවසීය. එකී ඉල්ලීම දේශපාලන අරමුණු කරගත් ඉල්ලීමක් වන්නේ යැයි ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට කීවේය. තමන් කිසිදු ආකාරයකින් දේශපාලනය පෙරදී කරගත් ඉල්ලීමක් නොකළ බවත් තමන් කරනු ලැබුවේ නීතිය අනුව සිදුකළ යුතු ඉල්ලීමක් බවත් අල්ලස් හෝ දූෂණ විමර්‍ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි තනුජා බණ්ඩාර මහත්මිය එහිදී කීවාය. ඒ. ජේ. ඒ. අබේනායක
99mobile