
කස්සප හිමි ඇතුළු 7 දෙනා 26 දා තෙක් රිමාන්ඩ්
FM Heart · 3 min read
මහෙස්ත්‍රාත් රෝහලට ගොස් නියෝග කරයි හිමිවරු – 4 යි ..පිරිමි – 2 යි…ගැහැනු – 1 යි කස්සප හිමි ත්‍රිමලේ උසාවියටත් ඉදිරිපත් කර ඒ බව අනුරාධපුර අධිකරණයට දන්වන්නැයි නියෝග රුවන්වැලි මහා සෑ පරිශ්‍රය ආසන්නයේ ඇති දන්සල් කලාපයේ එක් පසෙක බළන්ගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් සත්‍යග්‍රහයක නිරත වෙමින් සිටින අතරතුර, එම ස්ථානයට තවත් පිරිසක් සමග කඩා වැදුණු, ශාසනයෙන් නෙරපා හැර ඇති බව කියන රාජාංගනයේ සද්ධාරතන නමැත්තාට පොලුවලින් පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්, අනුරාධපුර මූලස්ථාන පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගත් බළන්ගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සිව්නමක්, සිවිල් පිරිමි පුද්ගලයන් දෙදෙනකු සහ කාන්තාවක මේ මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සියපත් සසඳු වික්‍රමරත්න මහතා ඊයේ (13 දා) නියෝග කළේය. මෙම සැකකරුවන්ගේ ශරීර තුළ විෂ මත්ද්‍රව්‍ය පවතින්නේද යන්න පිළිබඳව මුත්‍රා සහ රුධිර සාම්පලවලට අදාළ වෛද්‍ය පරීක්ෂණ සිදුකරවා ගෙන, එම වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන පොලිසියට තවදුරටත් නියෝග කළේය. මේ අතර ඉකුත් 11 වැනි දින ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයේදී පැවැති නඩුවකට පෙනී නොසිටීමේ හේතුව මත අධිකරණයෙන් වරෙන්තු ලබා සිටින පළමු සැකකාර බළන්ගොඩ කස්සප හිමියන් ත්‍රිකුණාමලයේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර, ඒ බව අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කරන ලෙසද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අනුරාධපුර බන්ධනාගාර අධිකාරි ප්‍රසාද් ප්‍රේමතිලක මහතාට නියෝග කළේය. මෙසේ නියෝග කළේ රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේ ඇති දන්සල් කලාපය තුළදී භික්ෂූන් වහන්සේලා දෙපිරිසක් සහ තවත් සිවිල් පුද්ගලයන් පිරිසක් අතර ඇති වූ ගැටුම සහ එම ගැටුමේදී රාජාංගනයේ සද්ධාරතන නමැති චීවරධාරියාට පොලුවලින් පහරදී තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්, අනුරාධපුර පොලිස් අධිකාරී I චානක අබේසිරි ගුණවර්ධන මහතාගේ උපදෙස් මත අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මාල් රත්නායක මහතා අධිකරණයට කරුණු දැක්වීම සැලකිල්ලට ගනිමිනි. අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, සැකකාර බළන්ගොඩ කස්සප හිමියන් සහ අනෙකුත් සැකකාර භික්ෂූන් වහන්සේලා තිදෙනා, සිවිල් පිරිමි පුද්ගලයින් දෙදෙනා සහ කාන්තාව ප්‍රතිකාර ලබමින් සිටින අනුරාධපුර ශික්ෂණ රෝහලේ 4 සහ 9 වන වාට්ටු වෙත ගොස් ඔවුන් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කළේය. මෙම සැකකරුවන් සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ, රාජාංගනයේ සද්ධාරතන නමැත්තාට පොලුවලින් පහරදී තුවාල සිදුකිරීම සහ පොලිසියේ රාජකාරිවලට බාධා කිරීමේ චෝදනා යටතේය. අනුරාධපුර පොලිස් අධිකාරී I චානක අබේසිරි ගුණවර්ධන මහතාගේ උපදෙස් මත, අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මාල් රත්නායක මහතා සමග උප පොලිස් පරීක්ෂක එස්. නන්දසේන, පොලිස් ප්‍රධාන සැරයන්වරුන් වන (47818) අයි. එච්. එම්. ඩබ්ලිව්. කේ. ඉලංගසිංහ සහ (35904) අයි. එම්. විජේතුංග යන මහත්වරු මෙම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු කීහ. අනුරාධපුර අධිකරණ – උපාලි ආනන්ද සහ මිහින්තලේ රංග චතූ සහ අනුරාධපුර පර්සි කුරුනේරු

