FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

සිංහරාජයෙන් දුර්‍ලභ සත්ව හා ශාක විශේෂ රැස් කළ චීන ජාතිකයෝ සිව්දෙනෙක් අත්අඩංගුවට

FM Heart · 2 min read

The Heart Academy
ලෝක උරුමයක් වන සිංහරාජ වැසි වනාන්තරය ආශ්‍රිතව ශ්‍රී ලංකාවට ආවේණික හා වඳවීමේ තර්‍ජනයට ලක්වූ දුර්‍ලභ සත්ව හා ශාක විශේෂ නීතිවිරෝධී ලෙස එකතු කරමින් සිටි චීන ජාතිකයන් සිව්දෙනෙකු වනජීවී සංරක්ෂණ දෙපාර්‍තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නොවැම්බර් 09 වැනිදා අලුයම කලවාන, වැද්දාගල ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් 2026 නොවැම්බර් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කලවාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී ශ්‍රී ලංකාවට ආවේණික මෙන්ම වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ආරක්ෂිත ගොළුබෙල්ලන්, වන්දන්, මකුළුවන්, ගෙම්බන්, කැන්ගරු කටුස්සන්, හූනන්, පළඟැටියන්, සළබයන්, විවිධ කෘමීන් සහ පණුවන් ඇතුළු සත්ව නිදර්‍ශක 79කට අධික සංඛ්‍යාවක් සොයාගෙන තිබේ. මීට අමතරව ශාක මුල්, කඳන්, මීවන පත්‍ර සහ දුර්‍ලභ ගුරුළු රාජ ශාක සාම්පලද සොයාගෙන ඇති අතර, සතුන් සංරක්ෂණය කිරීම සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය, විශේෂ උපකරණ, ජංගම දුරකථන සහ සැකකරුවන් පැමිණි MG ZS වර්‍ගයේ මෝටර් රථයද වනජීවී නිලධාරීන් භාරයට ගෙන ඇත. විදුලි ආලෝක උපකරණ භාවිත කරමින් රාත්‍රී කාලයේ සතුන් එකතු කරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. පසුව ඔවුන් නවාතැන්ගෙන සිටි වැද්දාගල බුත්කන්ද ප්‍රදේශයේ සංචාරක නිකේතනයේ කාමර පරීක්ෂා කිරීමේදී සතුන් සහ ශාක නිදර්‍ශක ඇතුළු තවත් උපකරණ රැසක් සොයාගෙන ඇත. විමර්‍ශනවලදී අනාවරණය වී ඇත්තේ, එම නිදර්‍ශක සූක්ෂ්ම ලෙස ඇසුරුම් කර විදේශගත කිරීමේ සැලසුමක් තිබූ බවයි. මෙම සිදුවීම පිටුපස ජාත්‍යන්තර මට්ටමේ ජාන ජාවාරමක් ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව වනජීවී නිලධාරීහු සැක පළ කරති. වනජීවී සංරක්ෂණ දෙපාර්‍තමේන්තුවේ පනහඩුව අඩවි ආරක්ෂක කාර්‍යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක කේ.ඩී. නදීෂ මුතුකැලුම් මහතාට ලැබුණු රහසිගත තොරතුරකට අනුව, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත මෙම වැටලීම සිදුකර තිබේ. වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ චෝදනා 34ක් යටතේ සැකකරුවන්ට එරෙහිව නඩු පවරා ඇති අතර, අත්අඩංගුවට ගත් සත්ව නිදර්‍ශක හඳුනාගැනීම සඳහා ජාතික සත්ව උද්‍යාන දෙපාර්‍තමේන්තුව වෙත යොමු කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්‍ශන ක්‍රියාත්මක අතර, සැකකරුවන් නවාතැන්ගෙන සිටි සංචාරක නිකේතනය සිංහරාජ වනාන්තරය භාරව කටයුතු කරන වන සංරක්ෂණ දෙපාර්‍තමේන්තුවේ ඉහළ නිලධාරියෙකුට අයත් එකක් බවද අනාවරණය වී තිබේ. සෝබා කෝලියවංශ
99mobile