FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ඉරාන යුද්දය ඉවරයි..- ට්‍රම්ප්

FM Heart · 2 min read

The Heart Academy
කටාර් අග්‍රාමාත්‍යවරයා සමඟ වොෂින්ටන් නුවර පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ධවල මන්දිරයේදී මාධ්‍ය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ. කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය හුදු මාධ්‍ය අවධානය වෙනතකට යොමු කිරීමේ උත්සාහයක් සහ පදනම් විරහිත ‘ව්‍යාජ පුවතක්’ ලෙස ඉරාන බලධාරීන් තරයේ ප්‍රතික්ෂේප කර ඇත. ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ, ඉරානයේ හමුදා ශක්තිය මේ වන විට සම්පූර්‍ණයෙන්ම පාහේ බිඳදමා ඇති බවයි. මැදපෙරදිග කලාපීය මිත්‍ර රටවල ඉල්ලීම පරිදි දැනට පවතින තත්ත්වය ඒ අයුරින්ම පවත්වාගෙන යාමට තීරණය කර ඇති බව පැවසූ ඔහු, ඒ යටතේ ඉරාන වරායන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන ලොව විශාලතම නාවික අවහිරය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ද සඳහන් කළේය. ඊට අමතරව, ගොඩබිමෙන් සහ කැස්පියන් මුහුද හරහා සිදුවන වෙළඳාම කපාහැරීම සඳහා අලුතින් ස්ථාපිත කළ ‘අයන් ගේට්’ කාර්‍යසාධක බලකායේ මෙහෙයුම් ද අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇත. සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, බහරේනය සහ කුවේටය වැනි කලාපීය රටවල් ද මෙම තත්ත්වය එලෙසම පැවතීමට කැමැත්ත පළකර ඇති බව පැවසූ ට්‍රම්ප්, තවදුරටත් සෘජු හමුදා ප්‍රහාර එල්ල කිරීමේ අවශ්‍යතාවක් නොමැති වුවද, ඕනෑම හදිසි තත්ත්වයකදී යළි සටන් බිමට පිවිසීමට සිය හමුදා පූර්‍ණ සූදානමින් පසුවන බවද අවධාරණය කළේය. මෙම ප්‍රකාශයට පෙර, ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ කටාර් අග්‍රාමාත්‍ය මෙන්ම විදේශ අමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්‍රහ්මාන් බින් ජාසිම් අල් තානි අතර සංවෘත දොරටු සාකච්ඡාවක් පැවැත්විණි. ගැටුම නිරාකරණය කරගැනීම සහ දෙරට අතර සාකච්ඡා ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් එහිදී සාධනීය එකඟතාවලට එළඹුණු බව කටාර් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. යුද්ධය නිමා කිරීම වෙනුවෙන් ඉරානය විසින් සකස් කරන ලද දෙදින යෝජනාවලියක් ද කටාර් අගමැතිවරයා විසින් මෙම හමුවේදී ට්‍රම්ප් වෙත භාරදී ඇති බව අනාවරණය වේ. කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශ දැඩි උපහාසයෙන් යුතුව බැහැර කිරීමට ඉරාන බලධාරීන් පියවර ගෙන තිබේ. ඉරාන උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් මොහ්සෙන් රෙසායි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙම යුද්ධය හේතුවෙන් ඇමෙරිකානු පරිපාලනය මේ වන විටත් දැඩි අර්‍බුදයකට මුහුණ දී ඇති බවත්, මංමුලා වූ සූදුකරුවෙකු මෙන් වොෂින්ටනය හැසිරෙන බවත්‍ය. මනඃකල්පිත සාකච්ඡා පිළිබඳ ව්‍යාජ පුවත් නිර්‍මාණය කිරීම නතර කරන ලෙස ද ඔහු ඇමෙරිකාවට අනතුරු ඇඟවීය. මේ අතර, ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් අවධාරණය කළේ තම රට කිසිදු බලහත්කාරකමකට හෝ තර්‍ජනයකට යටත් නොවන බවයි. සාකච්ඡා සඳහා ඉරානය විවෘත වුවද, "යුද්ධයකුත් නොවන - සාමයකුත් නොවන" පවතින අවිනිශ්චිත තත්ත්වය වහා නිමාවට පත්විය යුතු බවට උත්තරීතර නායක මොජ්තබා ඛමේනි ප්‍රකාශ කර ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
99mobile