
බය වෙන්න එපා ඉන්ධන හිඟයක් නෑ…පෝලිම් හැදෙන ස්ථාන 52ක් හඳුනා ගත්තා
FM Heart · 1 min read
ඛනිජ තෙල් සංස්ථාව කියයි රටේ කිසිදු ඉන්ධන හිඟයක් නැතැයි, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහෙත් ඇතැම් සමාගම් විසින් ඉන්ධන නිකුත් කිරීමේ යම් අඩුවක් පවතින බව එම සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා සඳහන් කරයි. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් මගින් අඛණ්ඩව ඉන්ධන නිකුත් කිරීම සිදුකරන බවද ඒ මහතා කීවේය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන ඩී. ජේ. රාජකරුණා මහතා :- “අපිට අවශ්‍ය තරම් තෙල් සංචිත තිබෙනවා. මේ ඇතැම් තැන්වල පවතින හිඟයට හේතුවෙලා තිබෙන්නේ පෞද්ගලික සමාගම්. ඒ අය ඔවුන්ට පාඩු නිසා තෙල් නිකුත් කිරීම සීමාකරලා තියෙනවා. එහෙම තෙල් අඩු පිරවුම්හල් අසල සිපෙට්කෝ ඉන්ධනහල් නොමැති වුවහොත්, යම් පෝලිමක් ඇති වෙනවා. අපි එවැනි ස්ථාන 52 ක් පමණ හඳුනාගෙන තිබෙනවා. අපි දැන් සමාගම් සමග සාකච්ඡා කරනවා. බොහෝ සමාගම් එකඟ වුණා ඒ තැන්වලට ප්‍රමුඛතාව ලබාදෙන්න. කොහොම වුණත් ඉන්ධන බෙදාහැරීමේ කිසිම අඩුවක් සිදුව නැහැ. මොකද, ඇතැම් සමාගම්වලින් අඩු වුණු තෙල් ප්‍රමාණය සිපෙට්කෝ හරහා අර්‍බුදයකින් තොරව බෙදාහරින නිසා.” සුජීව තත්සර

