
වැස්ස ඉවර වෙනකොටම එන කැස්ස…ලංකාව පුරා පැතිරෙන අමුතු කැස්ස ගැන ඇත්ත කතාව
FM Heart · 6 min read
උදේට හොඳටම පායලා තියෙනවා. දවල් වෙද්දි එකපාරටම අහස කළු කරගෙන, අකුණු ගහගෙන වහිනවා. හවස වෙද්දි ආයෙත් පායනවා. ඒත් එක්කම දූවිලි, තෙතමනය, හුළඟ. රෑ වෙද්දි උගුර ටිකක් කසනවා වගේ. පහුවදා උදේ වෙනකොට කැස්සක්, හෙම්බිරිස්සාවක්, ඇඟට පොඩි බර ගතියක්. මේ දවස්වල ලංකාවේ ගොඩක් ගෙවල්වල කතාව මේකම තමයි. ඉස්කෝලේ එකේ පන්තියේ ළමයි දහදෙනෙක් විතර අසනීප වෙලා. ඔෆිස් එකේ එක පැත්තක්ම කහිනවා. ගෙදර එක් කෙනෙක්ට හැදුනම දවස් දෙකකින් මුළු ගෙදරටම බෝ වෙනවා. මේක සාමාන්‍ය හෙම්බිරිස්සාවක්ද? නැත්නම් වෙන මොකක් හරිද? මේක ගැන ගොඩක් අය අහන ප්‍රශ්නයක්. ඇත්ත කතාව නම් මේක සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් විතරක් නෙවෙයි. මේ දවස්වල ලංකාව පුරා පැතිරෙන්නේ ඉන්ෆ්ලුවෙන්සා, ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන ෆ්ලූ උණ. සෞඛ්‍ය අංශ පවා මේ ගැන දැන් නිල වශයෙන් කියන්න පටන් අරගෙන තියෙනවා. ඇයි මේ වැස්ස මෙච්චර අමුතු? අපි දැන් ඉන්නේ ඔක්තෝබර් අග – නොවැම්බර් මුල අන්තර් මෝසම් කාලයේ. මේ කාලයට ආවේණිකම දේ තමයි මේ පුරෝකථනය කරන්න බැරි වැස්ස. උදේට රස්නය සෙල්සියස් අංශක 30 විතර, හවසට එකපාරටම සෙල්සියස් අංශක 26ට බහිනවා. ආර්ද්‍රතාවය ඒ කියන්නේ වාතයේ තෙතමනය සියයට 80 ඉඳන් සියයට 94 වෙනකන් වෙනස් වෙනවා. මේ විදියට උෂ්ණත්වය එකපාරටම වෙනස් වෙනකොට අපේ ශරීරයට ඒකට හැඩගැහෙන්න අමාරුයි. විශේෂයෙන්ම උගුර, නාසය වගේ ශ්වසන පද්ධතිය දුර්වල වෙනවා. ඒ වගේම මේ තෙත්, උණුසුම් වාතය වෛරස්වලට පැතිරෙන්න හොඳම පරිසරයක්. වෛරස් එක වාතයේ වැඩි වෙලාවක් ජීවත් වෙනවා. මිනිස්සු වැස්සට තෙමෙන්න බැරි නිසා ජනෙල් වහපු පොඩි තැනකට එකතු වෙනවා. ඉස්කෝලෙක, බස් එකක, ඔෆිස් එකක එක්කෙනෙක් කැස්සොත්, කිවිසුම් ඇරියොත් ඒ බිංදු ඒ පොඩි තැන පුරාම පැතිරෙනවා. ඒ නිසාම මේ කාලයට ලෙඩ බෝ වීම වැඩියි. ලංකාව කියන්නේ නිවර්තන රටක්. ඒ නිසා යුරෝපයේ වගේ ශීත කාලෙට විතරක් නෙවෙයි, අවුරුද්ද පුරාම වගේ ඉන්ෆ්ලුවෙන්සා තියෙනවා. ඒත් ඒක වැඩි වෙන ප්‍රධාන කාල දෙකක් තියෙනවා. එකක් මැයි ඉඳන් ජූලි වෙනකන් නිරිතදිග මෝසම. අනික නොවැම්බර් ඉඳන් ජනවාරි වෙනකන් ඊසානදිග මෝසම. අපි දැන් ඉන්නේ හරියටම ඒ දෙවෙනි රැල්ල පටන් ගන්න තැන. ඒ නිසයි මේ පාර වැස්සත් එක්කම කැස්සත් ඔච්චර වැඩි වෙලා තියෙන්නේ. මේ දවස්වල එන කැස්ස ඇත්තටම මොකක්ද? වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පසුගිය දිනවල සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී කිව්වේ ඉතාම වැදගත් දෙයක්. පසුගිය සති 3-4 ඇතුළත ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩිවීමක් නිරීක්ෂණය වෙලා තියෙනවා කියලා. රසායනාගාරවලට ලැබෙන සාම්පල්වලින් සියයට 35ක් පමණ ඉන්ෆ්ලුවෙන්සා කියලා තහවුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් හැමතැනම තියෙන කැස්ස, හෙම්බිරිස්සාව, උණවලින් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්ෆ්ලුවෙන්සා. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් විශේෂඥයන් කියන විදියට මේ පාර වැඩිපුරම පැතිරෙන්නේ ඉන්ෆ්ලුවෙන්සා A වර්ගය. ඒකෙත් H3 කියන උප වර්ගය දැන් H1 එක පහු කරගෙන ඉස්සරහට ඇවිත් තියෙනවා. මේක ඉන්දියාවේත් මේ දවස්වල පැතිරෙන රටාවම තමයි. බය වෙන්න එපා කියලා සෞඛ්‍ය අංශ කියනවා. මොකද මේක ගොඩක් අයට දවස් 3-4කින් බෙහෙත් එක්ක අඩු වෙන ලෙඩක්. ඒත් ඒක නොසලකා ඉන්නත් බෑ. මොකද සමහර අයට මේකෙන් ලොකු සංකූලතා එන්න පුළුවන්. සාමාන්‍ය හෙම්බිරිස්සාවයි, මේකයි අතර වෙනස ගොඩක් අය මේ දෙක පටලවා ගන්නවා. ඒ නිසා ලෙඩේ හරියට අඳුනගන්න මේ වෙනස දැනගන්න එක වැදගත්. සාමාන්‍ය හෙම්බිරිස්සාව පටන් ගන්නේ හෙමින්. උදේට නාසය බරයි, හවසට ටිකක් උගුර කසනවා වගේ. උණ එන්නේම නැති තරම්, ආවොත් අඩුවෙන්. ඇඟ රිදෙන්නේ නෑ. දවස් 2-3කින් තනියම හරි යනවා. ඒත් ඉන්ෆ්ලුවෙන්සා එක පටන් ගන්නේ එකපාරටම, ගහලා වගේ. උදේට හොඳින් ඉඳලා හවස් වෙද්දි එකපාරටම උණ 100-102°F වෙනකන් යනවා. ඇඟේ ඇටකටු රිදෙනවා, හිස කැක්කුම, ඇඳෙන් නැගිටින්න බැරි තරම් මහා තෙහෙට්ටුවක් දැනෙනවා. කැස්ස එන්නේ වියළි කැස්සක් විදියට, දිගටම. නාසයෙන් වතුර යනවා, උගුරේ වේදනාව තියෙනවා. ළමයින්ට නම් වමනය, බඩේ අමාරුවත් එන්න පුළුවන්. අනිත් වෙනස තමයි කැස්ස. උණ බැස්සත්, කැස්ස සති 1ක්, 2ක් විතර තියෙන්න පුළුවන්. ඒක නිසා “උණ නම් හරි ගියා, ඒත් කැස්ස තාම යන්නේ නෑනේ” කියලා ගොඩක් අය කියනවා. ඒක මේ ලෙඩේ ස්වභාවය. කාටද වැඩිපුර පරිස්සම් වෙන්න ඕන? නිරෝගී තරුණ කෙනෙක්ට මේක දවස් 4කින් හරි ගියත්, සමහර අයට මේක ජීවිතයටත් අනතුරුදායක වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගර්භනී මව්වරු, වයස අවුරුදු 5ට අඩු කුඩා ළමයි, වයස 65ට වැඩි වැඩිහිටියන්, දියවැඩියාව, හෘද රෝග, වකුගඩු රෝග, ඇදුම, පිළිකා වගේ නිදන්ගත රෝග තියෙන අය. මේ අයට ඉන්ෆ්ලුවෙන්සා එකෙන් නියුමෝනියාව, හුස්ම ගැනීමේ අපහසුව වගේ සංකූලතා එන්න පුළුවන්. ඒ නිසා මේ වගේ කෙනෙක් ගෙදර ඉන්නවා නම්, එයාට කැස්සක් හැදුන ගමන් ඉක්මනටම දොස්තර කෙනෙක්ට පෙන්නන එක තමයි හොඳම. ඉස්කෝල, පෙර පාසල් යන ළමයින්ට මේක හරි ඉක්මනට බෝ වෙනවා. මොකද ළමයි එකට සෙල්ලම් කරනවා, එකට කනවා, බොනවා. ගෙදර එක ළමයෙක්ට හැදුනම අම්මා, තාත්තා, ආච්චි සීය හැමෝටම බෝ වෙන්න දවස් 2ක් යන්නේ නෑ. වැස්සත් එක්ක එන අනිත් ලෙඩ දෙකත් අමතක කරන්න එපා. වැස්ස නිසා කැස්ස විතරක් නෙවෙයි ඩෙංගුත් වැඩිවෙන්න පුළුවන්. පළවෙනි එක ඩෙංගු. වැස්සට පස්සේ වතුර රැඳෙන තැන් – පොල්කටු, ටයර්, මල් පෝච්චි යට ඩෙංගු මදුරුවා බෝ වෙනවා. ඉන්ෆ්ලුවෙන්සා වගේම ඩෙංගුවලටත් මුලින් එන්නේ උණ, ඇඟ රිදීම. ඒ නිසා උණ බැස්සට පස්සෙත් ඇඟ තවත් නරක වෙනවා නම්, හමේ ලප එනවා නම් ඒක ඩෙංගු වෙන්න පුළුවන් කියලා සැක කරන්න. දෙවෙනි එක මී උණ, ඒ කියන්නේ ලෙප්ටොස්පයිරෝසිස්. වැස්ස වතුරේ, මඩේ ඇවිදින අයට, කුඹුරේ වැඩ කරන අයට මේක එන්න පුළුවන්. උණත් එක්ක ඇස් රතු වෙනවා, කකුල්වල මාංශ පේශි කැක්කුම එනවා නම් ඒක මී උණ වෙන්න පුළුවන්. මේකට හැකි ඉක්මනටම බෙහෙත් ගන්න ඕන. එහෙනම් මොකද කරන්නේ? තහවුරු කරගන්නේ කොහොමද? බෙහෙත්වලට වඩා ලෙඩේ නොහදාගෙන ඉන්න එක තමයි ලේසිම. මේ දවස්වලට ගැලපෙන පොදුවේ ක්රියාවේ යෙදිය හැකි පුරුදු කිහිපයක්ම තියෙනවා. කැස්ස, කිවිසුම් යනකොට අතට නෙවෙයි, වැලමිටට. නැත්තම් ටිෂූ එකකට. ඒ ටිෂූ එක ඉක්මනටම කුණු කූඩයට දාන්න. අත් සෝදන්න: එළියේ ඉඳන් ගෙදරට ආව ගමන්, කෑමට කලින් සබන් දාලා අත් සෝදන්න. ඒක තමයි ලේසිම ආරක්ෂාව. තෙමුණොත් ඉක්මනට: වැස්සට තෙමිලා ආවොත් තෙත් ඇඳුම් පිටින් ඉන්න එපා. ඉක්මනට මාරු කරලා, උණු වතුර වීදුරුවක් බොන්න. උණු වතුරට ඉඟුරු කෑල්ලක්, මී පැණි ටිකක් දාලා බොන එක උගුරට හොඳයි. Mask එක: කැස්සක් තියෙනවා නම්, බස් එකේ, ඉස්කෝලේ ට කාර්යාලයට හෝ, යනකොට Mask එකක් දාන එක අනිත් අයව බේරගන්න කරන ලොකු උදව්වක්. ගෙදර වාතාශ්‍රය: දවස පුරාම ජනෙල් වහලා ඉන්න එපා. වැස්ස නැති වෙලාවට ජනෙල් ඇරලා අලුත් වාතයට ඇතුළු වීමට ඉඩකඩ දෙන්න. නිරෝගී කෑම: විටමින් ක් තියෙන දෙහි, නාරං, පේර වගේ පලතුරු, කොළ එළවළු වැඩිපුර කෑමට ගන්න. හොඳට නින්ද ලබා ගන්න. නින්ද අඩු වුණාම ලෙඩ හැදෙන්නටත් බෝවීමටත් තිබෙන ඉඩකඩ වැඩියි. අවදානම් තියෙන අයට ඉන්ෆ්ලුවෙන්සා එන්නත ලබා ගැනීමේ ඉඩකඩ පිළිබඳ පවුලේ වෛද්‍යවරයා ගැන විමසන්න. හුස්ම ගන්න අමාරු නම් පපුවේ වේදනාවක් දැනෙනවා නම්, උණ දවස් 3කට වඩා අඩු වෙන්නේ නැතිනම්, කැස්සත් එක්ක ලේ එනවා නම්, කුඩා ළමයෙක් නම්, කිරි බොන්නේ නැති නම්, දිගටම වමනය යනවා නම්, අසාමාන්‍ය විදියට නිදිමතයි නම්, තොල් නිල් පාට වෙනවා නම් වෛද්‍ය උපදෙස් අත්‍යවශ්‍යයි. ඒ වගේම උණ සම්පූර්ණයෙන්ම බැහැලා දවසකට පස්සේ ආයෙත් උණ එනවා නම් ඒකත් අනතුරු ඇඟවීමක්. මේ වැස්ස ඉවර වෙනකොටම එන කැස්ස ගැන බය වෙලා ගෙදරට වෙලා ඉන්න ඕන නෑ. ඒත් ඒක සාමාන්‍ය දෙයක් කියලා හිතලා නොසලකා ඉන්නත් එපා. මේක දැන් ලංකාව පුරාම පැතිරෙන ඉන්ෆ්ලුවෙන්සා රැල්ලක්. වැස්සට තෙමෙන්නේ නැතුව, අත් සෝදලා, කැස්සක් තියෙනවා නම් ටිකක් පරිස්සම් වෙලා, උණු වතුර බීලා හිටියොත් ගොඩක් දුරට මේකෙන් බේරෙන්න පුළුවන්. ඔයාට ලෙඩක් හැදුනොත්, අනිත් අයට බෝ නොවෙන්න පරිස්සම් වෙන එක හැම දෙනාගේම වගකීමක්. ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය දුෂ්‍යන්ත මැදගෙදර සමග සාකච්ඡා කොට සකස් කළේ සමන්ති වීරසේකර

