
කාවන්තිස්ස – මරා දැමූ ශ්‍රී ලාංකීය අභිමානය
FM Heart · 5 min read
මේ සටහන ලියන්නේ කාවන්තිස්ස ඇතා ඝාතනය කර දින ගණනාවකට පස්සේ. අපි ශ්‍රී ලංකාවේ අලි ඇතුන් ගැන, උන්ගේ ආරක්ෂණ තත්ත්වයන් ගැන මීට පෙරත් මේ කොලමේ කතා කරලා තියෙනවා. නමුත් කාවන්තිස්ස කියන්නෙ සුවිශේෂී, දුලභව දකින්න ලැබෙන වනජීවී උරුමයක්. කාවන්තිස්ස සමකාලීනව ලෝකයේ ජීවත් වූ උසම දළ යුවල සහිත ආසියානු ඇතා කියලයි පිළිගැනීමට ලක්ව තිබුණේ. නමුත් අපට ඒ අභිමානය රැකගන්න බැරිවුණා. රැකගන්න බැරි වුණා විතරක් නෙමෙයි අපි ලෝකෙටම පෙන්නුවා අපි කිසිම සහකම්පනයක් නැති ජාතියක් කියලා. පරිසර අමාත්‍යාංශය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වගේ වගකීම් දරන ආයතන සහ ඒවායේ ඉන්න පුද්ගලයන්ගෙන් ඇහුනේ හා පෙනුනේ කිසිදු සහකම්පනයක් නැති උද්ධච්ඡ ප්‍රකාශ සහ හැසිරීම් විතරයි. ඔවුන් බොහෝ දෙනකු බිය වුණේ ඝාතනයෙන් පසුව මතු වූ සමාජ මාධ්‍ය ප්‍රධාන පුළුල් මහජන විරෝධයට මිසක්, තම නොසැලකිල්ල, වගකීම් විරහිතභාවය ගැන හිතන්න නොවෙයි. ඔවුන්ට මේ ගැන කිසිදු හැඟීමක් නැති බව ඝාතනයෙන් පසු අද දක්වාම ගන්නා ලද ක්රියමාර්ගවලින් පෙනෙන්න තිබෙනවා. ඒවා නැගුණ මහජන විරෝධය මකා දමන්න කරන “සංරක්ෂණ සංදර්ශන” විතරයි. ඇයි අපි එහෙම කියන්නේ ? විද්‍යාත්මක පර්යේෂණ වලින් අතිශය දුර්වල සහ හානිකර කළමනාකරණ උපායමාර්ග විදිහට හඳුනාගෙන තිබෙන අලි එළවීම, වනඅලි රැඳවුම් මධ්‍යස්ථාන සහ වන අලි ප්‍රතිස්ථාපනය වගේ ක්‍රමවේද අපි තවමත් විසඳුම් විදිහට ක්‍රියාත්මක කරමින් ඉන්නවා. තාර්කික පදනමක් නැති සහ අයාලේ ගසන විදුලි වැටවල් අලින්ගේ සැරීම් පරාසයන් තවදුරටත් සීමා කරලා. මේ සියලු පීඩාවන් අස්සේ තැන තැන උන්ට ඉතුරුවෙලා තිබෙන වනාන්තර ටිකත් ඊනියා සංවර්ධන ව්‍යාපෘති විසින් අත්පත් කර ගනිමින් තිබෙනවා. හම්බන්තොට, විල්පත්තුව සහ මෑතකදී අම්පාරේ හා උතුරේ දකින්න ලැබුණේ මේ ඛේදනීය යථාර්ථය. ඒ විතරක් නොවෙයි, විවෘත කසළ බැහැර කිරීම නිසා අපේ කුණු කන අලි ඒ කුණු ගොඩවල් මතම උන්ගේ ජීවිත අකාලයේ නිම කරනවා. දුම්රිය අලි ඝාතන මෙවලමක් වෙලා ඉවරයි. කිසිදු ආචාරධාර්මික දැක්මක් නැති වනජීවී ඡායාරූපකරුවෝ, ඩ්‍රෝන නියමුවෝ සහ අශීලාචාර සංචාරක කල්ලි දහවල් කාලයේදී වත් උන්ට නිදහසේ ඉන්න තිබෙන ඉඩ අහුරා දමා තිබෙනවා. ආරක්ෂිත ප්‍රදේශ ඇතුළෙත් උන්ට නිදහස් ජීවිතයක් උරුම නැහැ. සංචාරක පීඩනයට අමතරව, දඩයම්කරුවෝ, අලි ඝාතකයෝ, ඊනියා වන්දනාකරුවෝ මේවාට අරක්ගෙන ඉන්නවා. උඩවලව, කුමන, යාල ජාතික උද්‍යාන උදාහරන දෙකක් විතරයි. මේ සියලු දේ එක්ක ප්‍රචාරය කරන ව්‍යාජ මතවාදය තමයි ශ්‍රී ලංකාවට අලි වැඩියි කියන එක. ඒක ඔප්පු කරන්න ව්‍යාජ දත්ත සමාජගත කරමින් ඉන්නවා. වන අලි ජීවත්වන වනාන්තර ඉඩම් විවිධ ව්‍යාපෘති සඳහා කොල්ලකෑම මේ ව්‍යාජ අදහස් වැපිරීම පිටුපස තිබෙන අරමුණ. කෘෂිකර්ම ඇමැතිවරයා තමන්ගේ ඉඩමට එන ඕනෑම සතෙකුට ඕනෑම දෙයක් කරන්න ඔවුන් පළිබෝධකයන් බව කියන්නේ ගිනි අවි දහතුන්දාහක් පමණ ගොවීන් අතට නීත්‍යානුකූලවම නිකුත් කරලා. එහෙම රටකට ආණ්ඩුවකට වනජීවී ඇමැති කෙනෙක් හෝ වනජීවී නීති-රෙගුලාසි හෝ දෙපාර්තමේන්තුවක් වැඩක් නැහැ. මෙහි ප්‍රතිඵලය ඔබට මට පේන්න තිබෙනවා. කාවන්තිස්සට පසුව අද වනවිට අලි පස්දෙනකු වෙඩිතබා මරා දමා තිබෙනවා. තව කිහිපදෙනකු මරණාසන්නව ඇද වැටී ජීවිතය යදිමින් සිටිනවා. මේක අවසානය නොවෙයි. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය ගැනත් අපට ආයේ හිතන්න වෙන බව මගේ අදහස. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික බිම් තිරස්ව ව්‍යාප්ත කිරීම නතර කොට එය සිරස් ආකාරයෙන් ව්‍යාප්ත කරමින් එක් භූමි ඒකකයකින් ලැබෙන ඵලදායීතාව වැඩි කළ යුතුයි. පසු අස්වනු හානි ආදි කාරණාත් සලකා බලන්න පුළුවන්. මහජන බදු මුදලින් කෘෂිකර්මය නඩත්තු කිරීම අර්ථයක් නැති දෙයක්. ඒ වෙනුවෙන් අලින්ගේ ඉඩම් කොල්ලකෑම ඊටත් වඩා මුග්ධ ක්‍රියාවක්. ඇතැම් පර්යේෂකයන්ගේ ගණනය කිරීම්වලට අනුව සංචාරක ආකර්ෂණ ඇතිකිරීම අර්ථයෙන් ශ්‍රී ලංකාවේ එක් අලියකුගේ වටිනාකම රුපියල් මිලියන හතරක්! මේ ගණන එක් එක් උද්‍යානය අනුව වෙනස් වෙනවා. මින්නේරිය කවුඩුල්ල අශ්රීතව දකින්න පුළුවන් “අලි සමූහනය” (Elephant Gathering) වගේ අවස්ථාවක දී එක් අලියෙකුගේ වටිනාකම රුපියල් මිලියන 10ක් පමණ වන බව හඳුනාගෙන තිබෙනවා. මෑතකදී පලකරන ලද තවත් ගණනය කිරීමකට අනුව මෙරට ජීවත්වන වන අලියෙකුගේ සංචාරක හා පාරිසරික සේවා වටිනාකම රුපියල් කෝටි 380ක්! මේ අතුරින් කාවන්තිස්ස වගේ දුලබ ඇතෙකුගේ වටිනාකම මිල කරන්න බැහැ. එනිසා අසමත් කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් පටු දේශපාලන ව්‍යාපෘති අරමුණු කරගෙන මෙවන් අමිල සම්පත් බිල්ලට දීම අමනෝඥ තක්කඩි කමක්. කාවන්තිස්ස විතරක් නොවෙයි, පසුගිය කාලය පුරාම දුලබ ඇතුන් ගණනාවක්ම අපට රැකගන්න බැරිවුණා. උද්දච්ඡ, දූෂිත නිලධාරීන් හා ආයතන වගේම ඔවුන් ආරක්ෂා කරන විවිධ මුහුණුවරින් පෙනී සිටින කල්ලි – කණ්ඩායම් සහ ගුරුකුල අප දකින්නේ සුදු කරපටි අපරාධකරුවන් හෝ ඔවුන්ගේ සහචරයන් ලෙසයි. ඔවුන් කොතරම් සඟවන්නට උත්සාහ කළත් ඔවුන්ගේ දෑත්වල මේ ඝාතනවල ලේ තැවරී තිබෙනවා. අපට කාවන්තිස්සලා ජීවත් වූ ස්වභාවික පරිසරයේ දී උන්ගේ නිදහස් පැවැත්ම ආරක්ෂා කර දෙන්න බැරි වුණා. ඔවුන් මිනිසුන්ගේ අතවරයට ලක් වූ පසුවත් නිසි අයුරින් ප්‍රතිකාර කරන්න අසමත් වුණා. අවසානයේ ඝාතනය වූ පසු ඒ තේජවන්ත සත්ත්වයා කිසිදු ගෞරවයක්, සහකම්පනයක් නොමැතිව කැබලි කර වළලා දැමුවා. අඩුම තරමින් ඇත් රජෙකු ලෙස ලොව ගෞරවයට, ආදරයට පාත්‍ර වූ මේ සත්ත්වයාට ගෞරවණීය අවසානයක්වත් ලබා දෙන්න අප කටයුතු කළේ නැහැ. වනජීවී අධ්යක්ෂවරයා මාධ්‍ය සාකච්ඡාවක දී ප්‍රකාශ කර තිබුණේ “මෙච්චර කාලයක් බලාගත්තා ඒ මදිද?” කියලයි. තවත් වනජීවී පශූ වෛද්‍යවරයෙක් ප්‍රකාශ කර තිබුණේ ‘අලින්ට ප්‍රතිකාර කරන්න පුළුවන් වුණත්, උන් අමරණීය කරන්නට තමන්ට නොහැකි බව! මේ සෑම අදියරකදීම පෙනෙන්නේ අපේ රටේ වනජීවී සංරක්ෂණයේ අසමත්කම, නොසැලකිල්ල, වගකීම් විරහිත බව සහ සහකම්පනයක් නොමැතිකම. තත්ත්වය මෙහෙම නම් අපට වඩා හොඳ අනාගතයක් ගැන අපේක්ෂා තබා ගත නොහැකියි. වැරදි හදාගෙන ඉදිරියට යනවා මිසක, වැරදි වහගෙන යන ඉදිරි ගමනක් නැහැ. මා මේ ලිවීම මහත්මා ගාන්ධිගේ ප්‍රකාශයකින් අවසන් කරන්නම්, “ජාතියක ශ්‍රේෂ්ඨත්වය සහ එහි සදාචාරාත්මක ප්‍රගතිය මැනිය හැක්කේ එහි සතුන්ට සලකන ආකාරයෙනි. යම් ජීවියෙකු වඩාත් අසරණ වන තරමට, මිනිසා විසින් සිදු කරනු ලබන කෲරකම්වලින් ආරක්ෂාව ලබා ගැනීමට එම ජීවියාට වඩාත් වැඩි අයිතියක් ඇතැයි මම විශ්වාස කරමි”. මේ මොහොතේ අපිට අපි ගැන ගැඹුරින් සිතා බලන්න මේ ප්‍රකාශය ඔබට උපකාර වේවි. ඇත් රජු කාවන්තිස්සට යුක්තිය ඉටුවන්නේ ඔබ අද දවසේ කටයුතු කරන අයුරින් මිස, ඔබට පිටස්තරයෙන් සිටින්නෙකු එය ඉටුකර දෙතැයි විශ්වාස කිරීමෙන් නොවේ. මංජුල කරුණාරත්න සංරක්ෂණ භූගෝල විද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය භූගෝල විද්‍යා අධ්‍යයනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර.

