FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

බම්බලපිටිය සිරි වජිරාරාමයේ 125 වන සමරු ජයන්ති සැමරුම

FM Heart · 6 min read

The Heart Academy
ශ්‍රී ලංකාවේ අගනුවර කේන්ද්‍රීයව ආරම්භ වී ලොව පුරා ථෙරවාදී බුදු දහම ව්‍යාප්ත කිරීමේ අග්‍රගණ්‍ය බෞද්ධ මධ්‍යස්ථානය ලෙස බම්බලපිටිය සිරි වජිරාරාමය ප්‍රකට වේ. එය ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදායේ නවමු මානයන් හඳුන්වා දුන් අද්විතීය බෞද්ධ විහාරස්ථානයකි. 1901 වසරේ දී බම්බලපිටිය වජිර පාරේ දී (එකල වැලි පාර) සිරි වජිරාරාමය ආරම්භ කරන ලද්දේ අතිපූජ්‍ය පැළෑණේ සිරි වජිරඤාණ මහනාහිමිපාණන් වහන්සේ විසිනි. රට දැය සමය හා භාෂාවට ලැදි භික්ෂූ පරපුරක් හා දායක දායිකා පරපුරක් ඇති කර ගැනීම උන්වහන්සේගේ ඇභිලාෂය විය. එකල “බණ මඬුව” නමින් ප්‍රකට පැරණි ධර්‍ම ශාලාවේ අවම පහසුකම් යටතේ සිරි වජිරාරාමය ආරම්භ කරන ලදී. තුන් කල් දක්නා නුවණින් යුත් මහනාහිමිපාණන් වහන්සේ ඉතා කෙටි කලකින් සිරි වජිරාරාමය දෙස් විදෙස් පතළ විහාරස්ථානයක් බවට පත් කරන ලදී. විශේෂයෙන් එතෙක් පැවති රාත්‍රිය පුරා පැවැත්වෙන ධර්‍ම දේශනා වෙනුවට පැයේ ධර්‍ම දේශනා ක්‍රමය ආරම්භ කරන ලද්දේ මහ නාහිමියන් විසිනි. එය කාර්‍යබහුල වෘත්තිකයන්ට මහත් පහසුවක් විය. එසේම ලංකා ගුවන් විදුලියේ මුල්ම ධර්‍ම දේශනය පවත්වමින් විද්‍යුත් ධර්‍ම සංනිවේදනයේ උසස් ප්‍රමිතීන් හඳුන්වා දෙනු ලැබී ය. අගනුවර දරුවන්ගේ දහම් අධ්‍යාපනය නංවාලීම උදෙසා සති අග දහම් පංතිය ආරම්භ කොට, 1918 දී සිරි වජිරාරාම දහම්පාසල ලෙස විධිමත් දහම් අධ්‍යාපනය ආරම්භ කරන ලදි. 1916 පැවිදි බිමට පිළිපන් අතිපූජ්‍ය නාරද මාහිමිපාණන් වහන්සේ දෙස් විදෙස් ප්‍රකට ධර්‍ම සංනිවේදකයන් වහන්සේ නමක් වූහ. උන්වහන්සේ සිරි වජිරාරාම දහම් පාසල ගුණාත්මක හා භෞතික වශයෙන් දියුණු කිරීම උදෙසා මහත් වෙහෙසක් දැරීය. ඉංග්‍රීසි භාෂාවෙන් දහම් අධ්‍යාපනය ලබා දීම නිසා අගනුවර ප්‍රභූ පවුල් ආකර්‍ෂණය කර ගැනීමට හැකියාව ලැබිණි. කෙසේ වුව ද පැයේ ධර්‍ම දේශනා ක්‍රමය, ඉංග්‍රීසි භාෂාවෙන් ධර්‍ම දේශණා කිරීම ආදිය එකල සෙසු නිකායයන්හි විවේචනයට භාජනය වුව ද පසුකාලීනව හැම දෙනාම එම නිවැරදි ක්‍රමවේද අනුමත කොට අනුගමනය කිරීම දක්නට ලැබේ. 1924 දී ඉදිවූ වජිරාරාම පුස්තකාලය ගිහි පැවිදි විද්වතුන්ට මහත් සේවාවක් ලබා දිනි. එහි ඉතා පැරණි පුස්කොළ පොත් හා ධර්‍ම ග්‍රන්ථ රාශියක් සුරක්ෂිත කොට පරිශීලනය සඳහා සකස් කොට ඇත. අති පූජ්‍ය පැළෑණේ මහනාහිමිපාණන් වහන්සේ ගේ ශිෂ්‍යයකු ලෙස පැවිදි දිවියට පිළිපන් පූජ්‍ය පඹුරණ මෙත්තෙය්‍ය හිමියන් විසින් 1937 දී බෞද්ධ ළමයා සඟරාව හා The Bosat සඟරාව ආරම්භ කරන ලදී. බෞද්ධ ළමයා සඟරාව අඛණ්ඩව සිංහලෙන් මාසිකව පළ කැරෙන අතර දරුවන් උදෙසා පළකෙරේ. The Bosat සඟරාව කලක් නතර වී තිබී විද්‍යුත් සඟරාවක් ලෙස 2026 ජනවාරි සිට විශේෂයෙන් තරුණ පරම්පරාව ඉලක්ක කර ගනිමින් ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත් කෙරේ. සිරි වජිරාරාමයෙන් බිහි වූ පූජ්‍ය නාරද මාහිමි, පූජ්‍ය පියදස්සි මාහිමි, පූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුල මාහිමි ආදීන් වජිරාරාම විහාරස්ථානයේ හා දහම් පාසලේ අභිවෘද්ධිය සඳහා මහත් සේවාවක් සිදුකරන ලදී. එසේම රටවල් රැසක ථේරවාද බෞද්ධ උපසම්පදාව ප්‍රතිෂ්ඨාපනය කරමින් බුදු දහම ස්ථාවර කිරීමට වජිරාරාමවාසී මහ තෙරවරුන් විසින් ප්‍රමුඛ කාර්‍යභාරයක් ඉටුකරන ලදී. 1946 දී නේපාල රජු විසින් නේපාල ජාතික ථේරවාද බෞද්ධ භික්ෂූන් වහන්සේ එරටින් පිටුවහල් කිරීම නිසා ඇති වූ ශාසනික ව්‍යසනයේ දී අතිපූජ්‍ය පැළෑණේ වජිරඤාණ මහනාහිමිපාණන් වහන්සේගේ සංදේශයක් රැගෙන නේපාලයට ගිහි පැවිදි දූත පිරිසක් යැවීමට වජිරාරාමය ක්‍රියා කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස නේපාල ජාතික බෞද්ධ භික්ෂූන් වහන්සේලාට නැවත නේපාලයට ඒමට අවස්ථාව සැලසිණි. සිරි වජිරාරාමයේ දෙවන හැරවුම සිදුවන්නේ අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමිපාණන් වහන්සේගේ කාලයේ දී ය. ‘මිනිසා නොහදා රට හදන්න බැහැ. මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු’ යන්න උන්වහන්සේගේ ජීවනාදර්‍ශය විය. ඒ අනුව සිරි වජිරාරාමයේ ධර්‍ම ශාස්ත්‍රීය සේවා මෙන්ම සමාජීය සේවා ද වඩාත් පුළුල් කරන ලදි. දහම් පාසලට පංචවිධ ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දෙන ලදි. මහරගම සිරි වජිරඤාණ ධර්‍මායතනය ආරම්භ කොට භික්ෂු අධ්‍යාපනය විධිමත් කරන ලදි. තවද වජිරාරාමයේ ශාඛා විහාරස්ථාන දෙස් විදෙස්හි ආරම්භ කොට ධර්‍ම ප්‍රචාරක කටයුතු ව්‍යාප්ත කරන ලදි. ගෙවී ගිය 125 වසරක කාලය තුළ සිරි වජිරාරාමය අමරපුර ශ්‍රී ධර්‍මරක්ෂිත මහානිකායයේ මහානායක මාහිමිපාණන් වහන්සේ තුන්නමක් දායාද කරන ලදී. මෙයට අමතරව දහම් අධ්‍යාපනයේ හා දහම ප්‍රචලිත කිරීමේ මහඟු මෙහෙවරක යෙදුණු දෙස් විදෙස් මහ යතිවරයාණන් වහන්සේ රාශියක් වෙති. ඉන් කිහිප නමකගේ නම් පහත සඳහන් වේ. පූජ්‍ය කඹුරුගමුවේ මහානාම මාහිමි, පූජ්‍ය දෙණිපිටියේ සුමනසිරි මාහිමි, පූජ්‍ය කොග්ගල රෝහණ මාහිමි, පූජ්‍ය සෝම මාහිමි, පූජ්‍ය ඛේමින්ද මාහිමි, පූජ්‍ය පඹුරන මෙත්තෙය්‍ය මාහිමි, පූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුළ මාහිමි, පූජ්‍ය වල්ගම සුගතානන්ද මාහිමි, පූජ්‍ය පන්විල විපස්සි මාහිමි, පූජ්‍ය ඌරුගමුවේ සේනානන්ද නාහිමි, පූජ්‍ය නේපාලයේ සුබෝධානන්ද මාහිමි, පූජ්‍ය නේපාලයේ අමතානන්ද මාහිමි, පූජ්‍ය නේපාලයේ විමලානන්ද මාහිමි, පූජ්‍ය නාඔටුන්නේ ගුණසිරි මාහිමි, පූජ්‍ය බම්බලපිටියේ කස්සප මාහිමි, පූජ්‍ය එංගලන්තයේ ඤාණමෝලී මාහිමි, පූජ්‍ය එංගලන්තයේ ඤාණවීර මාහිමි, පූජ්‍ය දෙවලපොල සිරිධම්ම මාහිමි, පූජ්‍ය ඤාණවිමල මාහිමි, පූජ්‍ය දික්වැල්ලේ මහින්ද මාහිමි හා පූජ්‍ය ගංගොඩවිල සෝම මාහිමි යනාදී භික්ෂූන් වහන්සේලා රාශියක් වජිරාරාම ධර්‍ම ශාස්ත්‍රීය සේවාව ජනගත කිරීමට වෙහෙසක් දැරූහ. 2009 සැප්තැම්බර් 6 දින සිරි වජිරාරාම පින්බිම අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් පූජා භූමියක් බවට පත් කරන ලදි. එතැන් සිට සිරි වජිරාරාම කාර්‍ය සාධක සමිතිය, සාසන සාවිකා සමිතිය ආරම්භ කොට විධිමත් පාලන ව්‍යුහයක් හඳුන්වා දෙන ලදි. 2014 ජනවාරි 12 දින නිකායේ ඒකච්ඡන්දයෙන් විහාරාධිපති අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මාහිමිපාණන් වහන්සේ අභිනව මහානායක ධුරයට පත් කරන ලදි. එය සිරි වජිරාරාමයේ හා දහම් පාසලේ තුන්වන නවමු දිශානතිය සනිටුහන් කිරීමට සමත්විය. මහනාහිමිපාණන් වහන්සේ සිය ආචාර්‍ය පරපුරේ අගනා වටිනාකම් ඉදිරියට ගෙන යමින් කටයුතු කරනු ලැබේ. එතෙක් දහම්පාසලේ ප්‍රධානාචාර්‍ය ධුරය දැරූ පූජ්‍ය කඹුරුගමුවේ මහානාග මාහිමිපාණන් වෙත විහාරාධිකාරී තනතුරේ වගකීම් පවරන ලදී. දීර්‍ඝ කාලීන දහම්පාසලේ කටයුතුවල අත්දැකීම් තව දුරටත් දහම් පාසලට දායක කිරීම සඳහා එහි අධ්‍යක්‍ෂ ධුරයට පත් කැරුණාහ. අභිනව ප්‍රධානාචාර්‍ය ධුරයට එතෙක් උප ප්‍රධානාචාර්‍ය ධුරය දැරූ පූජ්‍ය මීගොඩ සුඛිත ස්වාමීන් වහන්සේ පත්කරන ලදි. වජිරාරාම සම්ප්‍රදායේ මහනාහිමිපාණන් වහන්සේ තුන්නමගේම ඇසුර ලැබූ පූජ්‍ය වජිරාරාමයේ ඤාණසීහ ස්වාමීන් වහන්සේගේ සහාය ලබා ගනිමින් දහම්පාසලට නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙමින් දහම් අධ්‍යාපනය විධිමත් කරන ලදි. උන්වහන්සේගේ උපදෙස් අනුව දහම් පාසලේ එක සහ දෙක ශ්‍රේණි ප්‍රාථමික අංශයෙන් වෙන් කොට ළදරු අංශයක් ඇති කරන ලදි. එහි ප්‍රමුඛත්වයක් ලබා දෙන්නේ විවිධ ඉගැන්වීමේ ක්‍රමවේද උපයෝගි කරගනිමින් බෞද්ධ හැදියාව ළමා මනසේ ස්ථාපිත කිරීමයි. එසේම එතෙක් වජිරාරාම භූමියේ පැවැති ගොඩනැඟිලි පැරැණි පුරාවිද්‍යාත්මක වටිනාකම් රැක ගනිමින් ප්‍රතිසංස්කරණය කරන ලදී. නව වාහල්කඩ, ධාතු මන්දිරය හා පුස්තකාලය, ‘අතිපූජ්‍ය මඩිහේ පැනසීහ මහනාහිමි සමරු සදහම් පහය’ නම් වූ සිවුමහල් ගොඩනැඟිල්ල, එසේම නව ශ්‍රවණාගාරය, දාන ශාලාව, මෙන්ම සෝලා පද්ධතිය මගින් විදුලිය උත්පාදනය ආරම්භ වීම ද මෙකල ඇති වූ භෞතික දියුණුවේ අංගයන් ය. මෙයට අමතරව බස රැස දෙස වෙනුවෙන් කැප වූ තරුණ භික්ෂූන් වහන්සේ සකස් කිරීමට ද සිරි වජිරාරාමය දායක වෙයි. මාසික සීල සමාදානය, මාසික භාවනා වැඩසටහන, දෛනික සම්බුද්ධ පූජාව දායක දායිකාවන්ට ධර්‍ම මාර්‍ගය පසක් කරලීමට මහත් පිටිවහලක් වේ. වජිරාරාම 125 සමරු ජයන්තිය වසර 125 ක් පුරා මහත් ශාසනික සේවාවක් සිදුකළ සිරි වජිරාරාමය මෙම වසරේ එය අභිමානවත්ව සමරනු ලැබේ. ඒ නිමිත්තෙන් විශේෂ අනුස්මරණ ග්‍රන්ථ සතරක් නිකුත් කිරීම ඇතුළු කාර්‍යයන් රැසක් සැලසුම් කොට ක්‍රියාත්මක කරනු ලැබේ. මෙම ජයන්ති අනුස්මරණ ව්‍යාපෘතිය සඳහා සිරි වජිරාරාම කාර්‍ය සාධක සමිතියේ හිටපු සභාපති හා 125 සමරු ජයන්ති මෙහෙයුම් කමිටුවේ සභාපති මහින්ද මඩිහහේවා මැතිතුමා ලබා දුන් නායකත්වය කෘතවේදීව සිහිපත් කරන අතර හිටපු කීර්‍තිමත් පොලිස්පතිවරයකු වූ එන්.කේ. ඉලංගකෝන් මැතිතුමා නව සභාපතිවරයා ලෙස ලබාදෙන නායකත්වය ද පැසසුම් කටයුතුය. ප්‍රියන්ත මායාදුන්නෙ ලේකම් – 125 වන සමරු ජයන්ති සංවිධායක කමිටුව හා සිරි වජිරාරාම දහම් පාසලේ නියෝජ්‍ය ප්‍රධානාචාර්‍ය
99mobile