
චක්‍රලේඛ උල්ලංඝනය කර ලබාගත් ඉන්ධන වෙනුවෙන් මහීපාල හේරත් මුදල් යළි ගෙවයි..
FM Heart · 2 min read
පසුගිය 2020 වසරේ අප්‍රේල් මස සිට 2021 වසරේ ජූනි මස දක්වා වූ කාලසීමාව තුළ හිටපු ආණ්ඩුකාරවරයා රජයේ නියමයන් උල්ලංඝනය කරමින් මෙලෙස අමතර ඉන්ධන භාවිත කර ඇති බවට ජාතික විගණන කාර්යාලය මඟින් චෝදනා එල්ල කර තිබිණි. එම විගණන විමසුම පදනම් කරගනිමින් උතුරු මැද පළාත් සභාව මඟින් සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුව, අදාළ මුදල පළාත් සභාවට අය කරගත යුතු බවට නිර්දේශ විය. ඒ අනුව, නිල වශයෙන් කරන ලද දැනුම්දීමට එකඟ වෙමින් හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා අදාළ සම්පූර්ණ මුදලම පළාත් සභා අරමුදලට ආපසු බැර කර ඇති බව නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය. මේ අතර, චක්‍රලේඛ උල්ලංඝනය කරමින් හිටපු ආණ්ඩුකාරවරයාට අමතර ඉන්ධන නිකුත් කිරීමට සහ ඊට මුදල් ගෙවීමට අනුමැතිය ලබාදුන් වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව මෙතෙක් විනය ක්‍රියාමාර්ග ගෙන නොමැති බව පෙන්වා දී ඇති ජාතික විගණන කාර්යාලය, ඒ සම්බන්ධයෙන් කඩිනමින් විනය පරීක්ෂණ පැවැත්විය යුතු බවට සිය නවතම වාර්තාව මඟින් අවධාරණය කර ඇත. කෙසේ වෙතත්, එම නිර්දේශය සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්) පෙන්වා දී ඇත්තේ, අදාළ කාලසීමාවේදී ඊට අනුමැතිය දුන් නිලධාරීන් මේ වන විට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගොස් ඇති බවයි. විශ්‍රාමලත් නිලධාරීන්ට එරෙහිව ආයතන සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව විනය පියවර ගැනීමේ සීමාවන් පවතින බැවින් ඔවුන්ට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම ගැටලු සහගත වී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

