
පාර්‍ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි – ගුවන් හමුදාවට රු. මිලියන 4,261ක පරිපූරක ඇස්තමේන්තුවක්
FM Heart · 1 min read
අද (05) දිනට නියමිත පාර්‍ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ. ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. 2026 අංක 8 දරන පරිපූරක ඇස්තමේන්තුව අද දිනයේ අනුමැතිය සඳහා විවාදයට ගැනීමට නියමිතය. ඒකාබද්ධ අරමුදලෙන් හෝ රජයට අයත් වෙනත් ඕනෑම අරමුදලකින් රුපියල් මිලියන 4,261ක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබේ. වෙනස්වන මෙහෙයුම් පරිසරය සහ බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින ආපදාවන්ට ගොදුරු විය හැකි අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් මතුවන තර්‍ජන සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා නියමුවන් රහිත ගුවන්‍යානා පද්ධතියක් ස්ථාපිත කිරීමට මෙම මුදල් යෙදවීමට නියමිතය. මීට අමතරව, පෙර තීරණය කළ පරිදි භාර (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම ද අද දිනයේ විවාදයට ගැනීමට නියමිතව තිබේ. පාර්‍ලිමේන්තු සභාවාරයේ සජීවී විකාශය පහතින් නරඹන්න.

