
පෞද්ගලික අංශයේත් හදිසි ජීවිතාරක්ෂක ඖෂධ හිඟයක්.. ප්‍රතිකාර පතා පැමිණෙන රෝගීන් අනතුරේ..
FM Heart · 2 min read
එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ, පෞද්ගලික ඔසුසල් ජාලය තුළ අඛණ්ඩ ඖෂධ සැපයුමක් පවත්වාගෙන යාමට නොහැකි වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි. මෙරටට ඖෂධ සැපයීම සම්බන්ධයෙන් නිෂ්පාදකයන් සහ සැපයුම්කරුවන් දක්වන උදාසීන ප්‍රතිපත්තිය මෙන්ම, ජාතික ඖෂධ නියාමන අධිකාරිය සැපයුම්කරුවන් හා නිෂ්පාදකයන් නිසි පරිදි ලියාපදිංචි කරමින් අඛණ්ඩ සැපයුමක් තහවුරු කිරීමේ සිය නෛතික වගකීම පැහැර හැරීම ද මීට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව හෙතෙම චෝදනා කරයි. හදිසි ජීවිතාරක්ෂක ප්‍රතිකාර සඳහා භාවිත කෙරෙන ඇඩ්රිනලින් (IV Adrenaline), ඇට්රොපින් (IV Atropine), පිරිටන් (IV Piriton), ඔන්ඩැන්සෙට්‍රෝන් (IV Ondansetron), මැක්සලෝන් (IV Maxolon), ෆෙනර්ගන් (IV Phenergan) සහ හයිඩ්‍රොකෝටිසෝන් (IV Hydrocortisone) ඇතුළු අතිශය තීරණාත්මක එන්නත් වර්ග රැසක සැපයුම මේ වන විට පෞද්ගලික අංශයේ බිඳවැටී ඇත. මේ හේතුවෙන් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවල අනිවාර්යයෙන්ම තිබිය යුතු හදිසි ජීවිතාරක්ෂක ඖෂධ කට්ටල සම්පූර්ණ කර ගැනීමට නොහැකිව එම ආයතන දැඩි අර්බුදයකට මුහුණ පා සිටී. පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට පැමිණෙන රෝගියකුට හදිසියේ ඇතිවන දරුණු ආසාත්මිකතාවක් හෝ හෘද අකර්මන්‍යතාවක් වැනි තීරණාත්මක හදිසි අවස්ථාවකදී, එම රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට අවශ්‍ය මූලික ඖෂධ නොමැති වීමෙන් රෝගීන් මරණයට පත්වීමේ බරපතළ අවදානමක් පවතින බවද විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කරයි. තවද, නීතිමය වශයෙන් මෙවැනි හදිසි ඖෂධ තොග පවත්වාගෙන නොයන ආයතන ලියාපදිංචි කිරීම හෝ බලපත්‍ර අලුත් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් සිදු නොකරන බැවින්, ඖෂධ හිඟය හේතුවෙන් පෞද්ගලික වෛද්‍ය සේවා සපයන්නන් ද දැඩි නීතිමය හා පරිපාලනමය ගැටලුවකට මැදිව ඇත. එබැවින් මෙම ගැටලුව කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශය වහා අවධානය යොමු කර කඩිනම් විසඳුමක් ලබා දිය යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් අවධාරණය කරයි.

