
මේ දෙන සහන මදිනං ඉදිරියෙදි තවත් සහන දෙනවා...
FM Heart · 2 min read
කම්කරු අමාත්‍ය මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම පරිපූරක ඇස්තමේන්තුව සභාගත කරමින් කියා සිටියේ, අර්‍බුදය තවදුරටත් උග්‍ර වුවහොත් ජනතාව වෙනුවෙන් ඉදිරියේදීත් අවශ්‍ය සහන සලසාලීමට රජය සූදානම් බවයි. සභාගත කරන ලද රුපියල් බිලියන 47ක මුදලින් රුපියල් බිලියන 41ක් බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්‍ෂය යටතට වෙන් කර ඇත. එම මුදල මූලික වශයෙන් යොදවනු ලබන්නේ ඉන්ධන මිල ස්ථායිකරණය කර පාරිභෝගිකයා වෙත එල්ල වන ආර්‍ථික පීඩනය සමනය කිරීම උදෙසා ය. මීට අමතරව, පවතින උද්ධමන තෙරපුම පාලනය කරමින් මහජනතාවට සහන සැලසීම හා අස්වැසුම ඇතුළු මෙහෙයුම් වැඩසටහන් ශක්තිමත් කිරීම වෙනුවෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්‍ථික කටයුතු අමාත්‍යාංශය යටතට රුපියල් බිලියන හයක මුදලක් වෙන් කර තිබේ. මෙහිදී විශේෂ පැහැදිලි කිරීමක් සිදුකළ නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙම මුදල් වෙන්කිරීම හරහා රජයේ සමස්ත වියදම් සීමාව ඉක්මවා නොයන බව අවධාරණය කළේය. පවතින අයවැය රාමුව තුළ අනුමත වියදම් සීමාවන් මනා මූල්‍ය කළමනාකරණයකට ලක් කරමින් මෙම මුදල් ප්‍රතිපාදන සම්පාදනය කර ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය. "මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය ජාත්‍යන්තර බලශක්ති වෙළෙඳපොළට සෘජුවම බලපා තිබෙනවා. එමගින් මෙරට පාරිභෝගිකයා මත පැටවෙන බර හැකිතාක් සැහැල්ලු කිරීම අපගේ අරමුණයි. ඉදිරියේදී එම කලාපයේ යුද තත්ත්වය වර්‍ධනය වන ආකාරය නිරීක්ෂණය කරමින්, ජනතාවට තවදුරටත් සහන දිය යුතු නම් ඊට අවශ්‍ය පියවර ගැනීමට රජය කිසිසේත් පසුබට වන්නේ නැහැ," යැයි ආචාර්‍ය අනිල් ජයන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

