
අනුරාධපුර පූජාභූමි සංවර්ධනයට අදාළව උපදේශක සභාවක් පත් කිරීම ගැන ප්‍රසාදය පළ කරනවා
FM Heart · 3 min read
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර ජනපතිට ලිපියක් යවමින් කියයි අනුරාධපුර පූජාභූමි සංවර්ධනයට අදාළ පාර්ශ්වකරුවන් නියෝජනය වන ලෙස උපදේශක සභාවක් පත් කිරීම පිළිබඳ අපගේ ප්‍රසාදය පළ කරන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර මහතා ජනපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යවමින් සදහන් කර තිබේ. අනුරාධපුර පූජා නගර සංවර්ධන ක්‍රියාවලිය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු සහ මහජන විරෝධය නිරාකරණය කිරීම යනුවෙන් වූ එම ලිපියේ මෙසේද සඳහන් වේ. භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව සහ නාගරික සංවර්ධන අධිකාරිය විසින් දොරවල් වසාගෙන සහ මහා සංඝරත්නය ප්රමුඛ මහජනයාගේ අදහස් ලබා නොගෙන සකස් කළ ව්‍යාපෘති යෝජනාවක් මත පදනම්ව සහ එම යෝජනාව රහසිගතව තබා ගනිමින් එය ක්‍රියාත්මක කිරීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමේ වරද නිවැරදි කිරීම සඳහා ඔබතුමා විසින් මූලික පියවරක් ගැනීම, එනම් පූජාභූමි සංවර්ධනයට අදාළ පාර්ශ්වකරුවන් නියෝජනය වන ලෙස උපදේශක සභාවක් පත් කිරීම පිළිබඳ පළමුවෙන්ම අපගේ ප්‍රසාදය පළ කරමු. ඒ අනුව ඔබතුමා වෙත පහත කරුණු අවධාරණය කිරීමට කැමැත්තෙමු. රටක සංවර්ධනයට අදාළව අනාගත භෞතික පහසුකම් යෝජනා කිරීම සහ සැලසුම් කිරීම යනු පාර්ශ්වකරුවන් රාශියකගේ සහභාගිත්වයෙන් සහ මහජනතාවගේ දැනුවත්භාවය සහිතව සිදුකළ යුත්තකි. නමුත් අප රටේ 2000 වසරේදී ඊට අදාළ නීතිමය බලතල එක් ආයතනයකට ලබාදීම මගින් බලවත් වරදක් සිදු කර ඇති අතර, එවැනි නීතිමය රාමු සකස් කිරීම බාහිර බලවේගවල වුවමනාව මත සිදුවන බවට ලෝකය පුරා සාක්ෂි ඇත. ඊට හේතුව එවැනි තත්ත්වයක් තුළ බාහිර පාර්ශ්වවලට රටක සංවර්ධන ක්‍රියාවලියට බලපෑම් කිරීම සඳහා දොරක් විවෘත වීමය. පසුගිය කාලය තුළ අදාළ දෙපාර්තමේන්තුව කටයුතු කළ ආකාරය අනුව ජාත්‍යන්තරව පවතින එම මතවාදය තහවුරු වේ. උදාහරණ ලෙස 2011 දී එම දෙපාර්තමේන්තුව කිසිදු පාර්ශ්වකරුවෙකුගේ දැනුවත්භාවය නොමැතිව ඒකපාර්ශවිකව ඉන්දියානු ව්‍යාපෘතියක් වන හනුමාන් පාලම සහ ත්‍රිකුණාමලය දක්වා දුම්රිය මාර්ගය සහ මන්නාරම දක්වා මහා මාර්ගය ඉදිකිරීම සඳහා භෞතික සැලසුමක් ඉදිරිපත් කරනු ලැබීය. ඊට අමතරව එම ආයතනය 2018 දී ඇමෙරිකානු එම්.සී.සී. ගිවිසුම අත්සන් කිරීමටත් පෙර ඊට අදාළ එක් ව්‍යාපෘතියක් වන ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා ආර්ථික කොරිඩෝවක් සඳහා වන සැලසුම් ඒකපාර්ශවිකව ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව ඔබතුමා විසින් බහුපාර්ශ්වීය උපදේශක සභාවක් පත් කිරීම යනු එම වරද නිවැරදි කිරීම සදහා වූ මූලික කොන්දේසියක් සැපිරීමකි. අප රටේ මහා සංඝරත්නය ප්රමුඛ බහුතර ජනතාව සහ ජාතික සංවිධාන අප රටේ පූජාභූමි සංවර්ධනයට පොදුවිරෝධතාවක් දක්වන්නේ නැත. යම් විරෝධතාවයන් මතුවන්නේ අදාළ ක්‍රියාවලිය තුළ දක්නට ලැබෙන මූලධාර්මික වැරදි නිසා බව ඒ පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කළහොත් ඔබතුමාට වැටහෙනු ඇත. උදාහරණයක් ලෙස දඹුල්ල පූජාභූමි සංවර්ධන ක්‍රියාවලිය තුළ නීති විරෝධීව විහාර දේවාලගම් ඉඩම් පුද්ගලික ව්‍යාපාර සඳහා ලබා දී ඇත. නමුත් නීතියට අනුව එම ඉඩම් භාවිතා කළ හැක්කේ පොදු පහසුකම් සඳහා පමණි. ඊට අමතරව ඉන්දියානු රජය වැනි බාහිර පාර්ශ්වවල මූල්‍ය දායකත්වය සහ මැදිහත්වීම පිළිබඳව මහජනයා සැක පහළ කිරීමද සාධාරණ වේ. ඊට හේතුව පසුගිය කාලයේදී ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය අත්සන් කළ ගිවිසුම් 10ක් පාර්ලිමේන්තුවට හෝ රටේ ජනතාවට ඉදිරිපත් නොකරන ලෙස බලපෑම් කළ බවට හෙළිදරව් වී තිබීමය. ඒ නිසා විරෝධයට ලක් වී ඇති අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලසුම හෙවත් ව්‍යාපෘති යෝජනාව පළමුවෙන්ම ඉන්දියානු තානාපති කාර්යාලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිළිබඳවද මහජනයා විසින් සැක පහළ කිරීම සාධාරණ බව ඔබතුමා පිළිගන්නවා ඇත. එම තත්ත්වය තුළ අනාගතයේදී ගැටලු ඇති නොවන ලෙස අනුරාධපුර පූජාභූමි සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මූලධාර්මික අවශ්‍යතාවයන් ඉටුකරන ලෙස ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

