FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

අලෙවිය පහත වැටේ.. ටෙස්ලා ‘Cybertruck’ නිෂ්පාදනය නතර කරයි..

FM Heart · 3 min read

The Heart Academy
වෙළෙඳපොළ තුළ සයිබර්‍ට්‍රක් රථ සඳහා පවතින ඉල්ලුම ශීඝ්‍රයෙන් පහත වැටීම, තාක්ෂණික හා ආරක්ෂක දෝෂ හේතුවෙන් අවස්ථා කිහිපයකදීම රථ නැවත කැඳවීමට සිදුවීම සහ සමාගමේ ප්‍රධානී ඊලෝන් මස්ක් සිය ප්‍රමුඛතාව කෘත්‍රිම බුද්ධිය හා රොබෝ තාක්ෂණය දෙසට යොමු කිරීම මෙම හදිසි තීරණයට හේතු වී තිබේ. ටෙක්සාස්හි පිහිටි ටෙස්ලා දැවැන්ත කර්‍මාන්තශාලාවේ සිදුවන සයිබර්‍ට්‍රක් නිෂ්පාදනය ලබන වසර මැදදී ක්‍රමයෙන් අවසන් කරන බව මස්ක් සිය 'X' ගිණුමේ සටහනක් තබමින් තහවුරු කර ඇත. ඒ වෙනුවට සමාගම පූර්‍ණ අවධානය යොමු කරන්නේ රියදුරන් රහිතව ස්වයංක්‍රීයව ධාවනය වන Cybercab කුලී රථ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහාය. සයිබර්‍ට්‍රක් ව්‍යාපෘතියේ ප්‍රධාන ඉංජිනේරු වෙස් මොරිල් සඳහන් කර ඇත්තේ සයිබර්‍ට්‍රක් යනු සුවිශේෂී තාක්ෂණික පදනමක් වූ බවත්, එම තාක්ෂණය ඉදිරියේදී සයිබර්‍කැබ් රථ හරහා ජීවමාන වන බවත්‍ය. කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය වෙත ආයෝජන යොමු කිරීමේ පියවරක් ලෙස ටෙස්ලා සමාගම සිය ප්‍රමුඛ පෙළේ 'Model S' සහ 'Model X' රථ නිෂ්පාදනයද මේ වසර තුළදී නතර කිරීමට පියවර ගත්තේය. 2019 වසරේදී මහත් ආන්දෝලනාත්මක ලෙස එළිදක්වා 2023 දී පාරිභෝගිකයන් වෙත නිකුත් කළ සයිබර්‍ට්‍රක් රථය, ඊලෝන් මස්ක් විසින් හඳුන්වා දෙනු ලැබුවේ සාමාන්‍ය පිකප් රථයක් ඉක්මවා ගිය "අනාගත යුද ටැංකියක්" සහ වෙළෙඳපොළේ ඇති ශක්තිමත්ම රථය ලෙසිනි. වසරකට මෙවැනි රථ 250,000ත් 500,000ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම ඔහුගේ මුල් ඉලක්කය විය. කෙසේ වෙතත්, එය මස්ක්ගේ නිෂ්පාදන ඉතිහාසයේ දැවැන්තම අසාර්‍ථකත්වයක් (flop) බවට පත්ව ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මෝටර් රථ පර්‍යේෂණ ආයතනයක් වන 'Cox Automotive' ආයතනයේ ඇස්තමේන්තුවලට අනුව, මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ටෙස්ලා සමාගමට අලෙවි කිරීමට හැකිව ඇත්තේ සයිබර්‍ට්‍රක් 11,586ක් පමණි. එය පෙර වසරට සාපේක්ෂව සියයට 28ක පහත වැටීමක් වන අතර, සමස්ත ඇමෙරිකානු විදුලි වාහන වෙළෙඳපොළෙන් සයිබර්‍ට්‍රක් සතු වන්නේ සියයට 1.6ක සොච්චම් කොටසක් පමණි. සාමාන්‍ය පාරිභෝගික ඉල්ලුම පහත වැටීම හේතුවෙන්, මස්ක්ට අයත් අනෙක් සමාගම වන 'SpaceX' ආයතනය සයිබර්‍ට්‍රක් රථ විශාල වශයෙන් මිලදී ගත් ප්‍රධාන ගැණුම්කරුවකු බවට පත් විය. මේ වන විට ටෙස්ලා සහ SpaceX සමාගම් ඒකාබද්ධ කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් පිළිබඳවද සාකච්ඡා කෙරෙමින් පවතී. සයිබර්‍ට්‍රක් නිෂ්පාදනය අත්හිටුවුවද ටෙස්ලා සමාගම වාණිජ ට්‍රක් රථ වෙළෙඳපොළෙන් මුළුමනින්ම ඉවත් නොවේ. මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ, ඩීසල් ට්‍රක් රථ වෙනුවට විදුලි බලයෙන් ක්‍රියාත්මක වන Semi Truck බර වාහන මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම පසුගිය අප්‍රේල් මාසයේදී සමාගම ආරම්භ කළේය. චීන විද්‍යුත් වාහන නිෂ්පාදකයන්ගෙන් එල්ල වන දැඩි තරගකාරීත්වය හමුවේ ටෙස්ලා සමාගමේ සාම්ප්‍රදායික විදුලි මෝටර් රථ ව්‍යාපාරය දැඩි පීඩනයකට ලක්ව ඇති පසුබිමක, සමාගම ඉදිරියේදී Optimus මානවරූපී රොබෝවරුන්, 'ටෙස්ලා සෙමී' ට්‍රක් රථ සහ 2026 අවසන් වන විට පාරිභෝගිකයින් අතට පත් කිරීමට සැලසුම් කර ඇති 'සයිබර්‍කැබ්' රථ නිෂ්පාදනය කෙරෙහි සිය මූලික අවධානය යොමු කරන බව මස්ක් පවසා ඇත. මේ අතර, ඇමෙරිකානු මැදවාර මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂය ලැබූ දැවැන්ත පරාජයත් සමඟ ටෙක්සාස් කේන්ද්‍ර කරගත් ටෙස්ලා සමාගමේ කොටස් අගය සියයට 15කින් පහත වැටී තිබේ. කෘත්‍රිම බුද්ධිය සහ දැවැන්ත තාක්ෂණික සමාගම්වල සීඝ්‍ර වර්‍ධනය පිළිබඳව ඡන්දදායකයන් තුළ පවතින බිය මෙම ඡන්ද ප්‍රතිඵලයට හේතු වී ඇති බව විචාරකයෝ පවසති. ඊලෝන් මස්ක් විසින් ඩොලර් මිලියන 200කට අධික මුදලක් වැය කරමින් රිපබ්ලිකන් පක්ෂයේ සෙනෙට් සහ ආණ්ඩුකාර අපේක්ෂකයන්ට ප්‍රබල මූල්‍ය සහයෝගයක් ලබා දුන්නද, දශක ගණනාවකට පසු එම තනතුරු දෙකෙහිම බලය ඩිමොක්‍රටික් පක්ෂය විසින් අත්පත් කර ගැනීම කැපී පෙනෙන සිදුවීමක් විය.
99mobile