
ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ඇතුළු 5ක් 20දා තෙක් රිමාන්ඩ්
FM Heart · 2 min read
වාහනයක් මීලදී ගැනීම හා කල්බදු වාරික ගෙවීම සම්බන්ධයෙන් මුදල් ලැබුණ ආකාරය ගැන කරුණු තහවුරු කිරීමට නොහැකි වීම ඇතුළු චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද ප්‍රධාන පොලිස් පරීක්ෂක (කාන්තා) වරුණි බෝගහවත්ත මහත්මිය ලබන 20 දා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර මහෙස්ත්‍රාත් චතුර දිසානායක මහතා නියෝග කළේය. අත්අඩංගුවට ගත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය ඇතුළු පස්දෙනෙක් ඊයේ (06) මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට බන්ධනාගාරය මගින් ඉදිරිපත් කරනු ලැබූහ. දුමින්ද ගුණසේකර, සුරංග එදිරිසිංහ, වරුණි බෝගහවත්ත, කල්පනී නමැති තවත් කාන්තාවක සහ, මීට පෙර අත්අඩංගුවට ගත් චමින්ද ගුණසේකර යන පස්දෙනාම ඒ අනුව ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලය දීර්ඝ ලෙස කරුණු දැක්වූහ. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ සැකකාරියගේ බැංකු ගිණුම් වෙත විශාල වශයෙන් මුදල් ලැබී ඇති බව විමර්ශනවල දී අනාවරණය කර ගත් බවයි. විදේශගත නැගණිය විසින් එවන ලද මුදල් සම්බන්ධයෙන් ලේඛන සැකකාර වරුණි බෝගහවත්ත ඉදිරිපත් කළ ද, අවස්ථා කිහිපයකදී වෙනත් පාර්ශවයක් විසින් ලීසින් පහසුකම ගෙවා තිබීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇති බව ද, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඇගේ වැටුපට සමාන වාරිකයක් සිය මෝටර් රථය වෙනුවෙන් කල්බදු පහසුකම් ලබා ගත් මූල්‍ය ආයතනය වෙත මාසිකව ගෙවා ඇති බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් නැති නිසා සැකකරුවන් පිරිස තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් සියලු දෙනා ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය. එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන වාර්තා ඉදිරි දිනයේදී සිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙරිණි. සැකකරිය වෙනුවෙන් සාරංග වාදසිංහ, සමීර මීකඳවත්ත, කසුන් නනායක්කාර, උදිෂා වීරරත්න, දිනේෂ් ගමගේ යන මහත්ම මහත්මීන් ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටියහ. කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කරන වරුණි බෝගහවත්ත මහත්මිය සතු හොන්ඩා වෙසල් වර්ගයේ මෝටර් රථය ඉකුත් දා පොලිස් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිය භාරයට ගනු ලැබීය. ඒ.ජේ.ඒ. අබේනායක

