FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

Views පස්සෙ දුවලා විශ්වාසය නැතිකර ගන්න එපා..

FM Heart · 3 min read

The Heart Academy
ඩිජිටල් තාක්ෂණයේ වේගවත් ව්‍යාප්තිය සහ නව මාධ්‍ය වේදිකාවල තරගකාරීත්වය හමුවේ වුවද, විද්‍යුත් මාධ්‍ය ආයතන සතු ප්‍රබලතම සහ වටිනාම සම්පත වන්නේ ඔවුන් දශක ගණනාවක් පුරා මහජනතාව සමඟ ගොඩනඟා ගත් විශ්වාසය සහ විශ්වසනීයත්වය බව ජයතිස්ස මහතා අවධාරණය කළේය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවති ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදයේ 2026 වාර්‍ෂික ජාත්‍යන්තර සමුළුව අමතමිනි. අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව ආරම්භ විය. ශ්‍රී ලංකාවේ විද්‍යුත් විකාශන ක්ෂේත්‍රයට අභිමානවත් ඉතිහාසයක් ඇති බවත්, ජනතාව දැනුවත් කිරීම, අධ්‍යාපනය ලබාදීම, විනෝදාස්වාදය සැපයීම සහ ජාතික උත්සව මෙන්ම ආපදා අවස්ථාවලදී ප්‍රජාවන් එකිනෙකා සමඟ සම්බන්ධ කිරීම සඳහා එම ක්ෂේත්‍රය සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. විකාශන ආයතනයක් යනු හුදෙක් සංඛ්‍යාතයක් හෝ මැදිරි සංකීර්‍ණයක් පමණක් නොවන බවත්, එය මහජන පිළිගැනීම හා විශ්වාසය මත කාලයත් සමඟ ගොඩනැගුණු ප්‍රබල සන්නාමයක් බවත් හෙතෙම ප්‍රකාශ කළේය. වර්‍තමානයේ ප්‍රේක්ෂකයින් තොරතුරු ලබාගන්නා ආකාරය සම්පූර්‍ණයෙන්ම වෙනස් වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, යූටියුබ්, ෆේස්බුක් සහ ටික්ටොක් වැනි ඩිජිටල් වේදිකා සමඟ විද්‍යුත් මාධ්‍ය ආයතනවලට දැඩි තරගකාරීත්වයකට මුහුණ දීමට සිදුව ඇති බව සඳහන් කළේය. එහෙත්, මෙම වෙනස්වීම්වලට එරෙහිව සටන් කිරීම වෙනුවට, සාම්ප්‍රදායික විකාශන මාධ්‍ය සහ ඩිජිටල් මාධ්‍ය එකිනෙකට ප්‍රතිවිරුද්ධ ක්ෂේත්‍ර ලෙස නොසලකා, ඒවා එකිනෙකට අනුපූරක වේදිකා (Complementary platforms) ලෙස සාර්‍ථකව භාවිත කිරීමේ වැදගත්කම ඒ මහතා පැහැදිලි කළේය. නව තාක්ෂණය වෙනුවෙන් ආයෝජනය කිරීමේ අවශ්‍යතාව සහ කෘත්‍රිම බුද්ධිය (AI) වැනි නව තාක්ෂණික මෙවලම් හරහා අන්තර්‍ගත නිෂ්පාදනයට, පරිවර්‍තනයට හා තොරතුරු ගවේෂණයට ලැබී ඇති අවස්ථා පිළිබඳව ද මෙහිදී අමාත්‍යවරයාගේ අවධානය යොමු විය. එහෙත්, ව්‍යාජ රූප, සංස්කරණය කරන ලද වීඩියෝ (Deepfakes) සහ ව්‍යාජ ශ්‍රව්‍ය පට ඔස්සේ සමාජය තුළ අසත්‍ය තොරතුරු වේගයෙන් පැතිර යාමේ අවදානමක් පවතින බවට ද ඔහු අනතුරු ඇඟවීය. මෙවැනි වටපිටාවක් තුළ, තොරතුරු මහජනතාව වෙත මුදා හැරීමට පෙර ඒවායේ සත්‍යතාව තහවුරු කිරීම, වේගයෙන් පැතිරෙන වැරදි තොරතුරු නිවැරදි කිරීම සහ ජනතාවට කරුණු පිළිබඳ නිසි පසුබිමක් ලබාදීම, වෘත්තීය මාධ්‍යවේදීන්ගෙන් සැදුම්ලත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන සතු ප්‍රමුඛ වගකීමක් බව අමාත්‍යවරයා අවධාරණය කළේය. නැරඹුම් වාර, ජනප්‍රියත්වය හෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර හඹා යාමේ අරමුණින් මාධ්‍ය ආයතන තම වෘත්තීය ප්‍රමිතීන් පළුදු කර නොගත යුතු බව ද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. අර්‍බුදයක් පිළිබඳව වාර්‍තා කිරීම සහ වාර්‍තාකරණය හරහා අර්‍බුදයක් නිර්‍මාණය කිරීම අතර පැහැදිලි වෙනසක් පවතින බවත්, රජයේ තීරණ විවේචනාත්මකව ප්‍රශ්න කිරීම සහ ජනතාව නොමඟ යැවීම එකිනෙකට වෙනස් ක්‍රියාවන් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. නිදහස්, ස්වාධීන සහ වගකීම්සහගත මාධ්‍ය පරිසරයක් ගොඩනැගීම සඳහා සියලු පාර්‍ශ්වයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට රජය සූදානම් බව පැවසූ අමාත්‍යවරයා, නව තාක්ෂණය වැළඳගනිමින් මාධ්‍ය වෘත්තීයභාවය සහ මහජන විශ්වාසය අඛණ්ඩව ආරක්ෂා කරගැනීමට එක්වන ලෙස මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටියේය. මෙම අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්‍ෂ බණ්ඩාර, ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදයේ සභාපති අසංග ජයසූරිය, එහි ලේකම් ලක්සිරි වික්‍රමගේ, භාණ්ඩාගාරික ශානිල් මෙන්ඩිස්, කැඳවුම්කරු නුවන් ලියනගේ යන මහත්වරුන් මෙන්ම විකාශන ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ තාක්ෂණික විශේෂඥයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් එක්ව සිටියහ.
99mobile