
අයවැයට එරෙහිව ඉංජිනේරුවන් වැඩ වර්ජනයේ...
FM Heart · 2 min read
ඉකුත් 2012 වසරේ සිට ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ නිලධාරීන් වෙනුවෙන් අඛණ්ඩව ලබා දුන් 'ක්ෂේත්‍ර සහභාගිත්ව සහ ප්‍රවාහන දීමනාව' 2024 වසරේදී අසාධාරණ ලෙස කපා හැරීමට රජය පියවර ගෙන තිබිණි. එම දීමනාව 2027 අයවැය මඟින් නැවත ප්‍රතිෂ්ඨාපනය කර ලබා දෙන බවට රජය පාර්ශ්වයෙන් මීට පෙර පොරොන්දු ලබා දී තිබුණ ද, ඉදිරිපත් වූ නව අයවැය මඟින් එම පොරොන්දුව කඩකරමින් ඉංජිනේරු සේවය මුළුමනින්ම නොසලකා හැර ඇති බව එම සංගමය පෙන්වා දෙයි. රජයේ මෙම අත්තනෝමතික ක්‍රියාකලාපයට දැඩි විරෝධය පළ කරමින්, සංගමයේ සභාපති ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර සහ ලේකම් ඉංජිනේරු එම්.පී.අයි.පී.එම්. පතිරණ යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ, 12 වැනිදා රැස්වූ විධායක කමිටුවේදී මෙම වර්ජන තීරණය ඒකමතිකව ගත් බවයි. ලබන වසර තුළදී මෙරට දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇති පසුබිමක, එම ව්‍යාපෘතිවල ප්‍රධාන තාක්ෂණික හා ක්ෂේත්‍ර භූමිකාව මෙහෙයවනු ලබන්නේ රාජ්‍ය සේවා ඉංජිනේරුවරුන් විසිනි. අද දින ක්‍රියාත්මක කරන සංකේත වැඩවර්ජනය රජය වෙත එල්ල කරන මූලික අනතුරු ඇඟවීමක් පමණක් බව පෙන්වා දෙන සංගමය, මේ සඳහා කඩිනම් සහ සාධාරණ විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේදී දැඩි අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බවට ද අවධාරණය කරයි. එසේ වුවහොත් රටේ සංවර්ධන කටයුතු ඇනහිටීමේ පූර්ණ වගකීම රජය භාරගත යුතු බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

