
අයවැයේ තියෙන්නේ අපේ ඉල්ලීම් නොවේ..- GMOA
FM Heart · 2 min read
පාර්‍ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 2027 අයවැය යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි විධායක කමිටු රැස්වීමක් අද (නොවැම්බර් 13) පැවැත්විණි. එහිදී අනාවරණය වී ඇත්තේ ජනාධිපතිවරයාගේ අයවැය කතාව සහ ඊට අදාළ ලේඛනවල අන්තර්‍ගත කරුණුත්, පසුගිය ජූලි මස 31 වැනිදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රජය වෙත බාරදුන් අයවැය යෝජනාවලියත් අතර පැහැදිලි පරස්පරතාවන් පවතින බවයි. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අයවැය ලේඛනය සම්බන්ධයෙන් විද්‍යාත්මක හා පුළුල් විශ්ලේෂණයක් සිදු කිරීම උදෙසා විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කමිටුවක් පත් කිරීමට විධායක කමිටුව පියවර ගෙන ඇති අතර, එම කමිටුවේ නිර්‍දේශ ඇතුළත් වාර්‍තාව ලබන අඟහරුවාදා (නොවැම්බර් 17) ලබාගැනීමට නියමිතය. මීට අමතරව, අයවැය කතාවට අදාළ සියලු ලේඛන අද දිනයේදීම දිවයින පුරා පිහිටි සියලුම ශාඛා සමිති වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව සියලු ශාඛා සමිති වහා රැස්වී, සාමාජිකත්වයේ අදහස් හා යෝජනා ලබන 17 වැනිදා වන විට විශේෂ කමිටුව වෙත යොමු කරන ලෙසට උපදෙස් දී තිබේ. ශාඛා සමිතිවලින් ලැබෙන යෝජනා සහ විශේෂඥ කමිටු වාර්‍තාවේ නිර්‍දේශ ගැඹුරින් සමාලෝචනය කිරීම සඳහා ලබන 19 වැනි බ්‍රහස්පතින්දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභාව රැස්වනු ඇත. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීම දිරිමත් කෙරෙන තිරසාර වැඩපිළිවෙළක් යථාර්‍ථයක් බවට පත් කරගැනීම වෙනුවෙන් ගත යුතු ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්‍ග එහිදී නිල වශයෙන් තීරණය කරන බව සංගමයේ ලේකම් වෛද්‍ය යු.කේ.බී. වරකාගොඩ මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

