
බංග්ලාදේශය දැඩි විදුලි අර්බුදයක.. රටපුරා විරෝධතා ඇවිලේ...
FM Heart · 2 min read
ඉන්ධන හිඟය, ඉහළ යන LNG පිරිවැය සහ ඉහළ යන ණය බර බංග්ලාදේශයේ අඛණ්ඩ විදුලි ඇනහිටීම් පිටුපස ඇති ගැඹුරු අර්බුදය හෙළි කරන බව S&P වාර්තා පෙන්වා දෙයි. විශේෂයෙන් S&P ගෝලීය සංඛ්‍යාලේඛනවලට අනුව, 2026 වසරේදී බංග්ලාදේශයේ විදුලි උත්පාදන ධාරිතාව ගිගාවොට් 30කට (GW) ආසන්න මට්ටමකට ළඟා වී ඇති අතර, එය එරට උපරිම විදුලි ඉල්ලුමට වඩා සැලකිය යුතු ලෙස වැඩි ප්රමාණයකි. එහෙත් ගෑස් සැපයුම් බාධා, මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ආනයනික ඉන්ධන පිරිවැය ඉහළ යෑම සහ බලාගාර අක්‍රියව පැවතීම හෝ නියමිත ධාරිතාවට වඩා අඩුවෙන් ක්‍රියාත්මක වීම නිසා වසර තුළ විදුලි හිඟය ඉහළ ගොස් තිබේ. බංග්ලාදේශයේ විදුලි නිෂ්පාදනය ස්වාභාවික ගෑස් මත දැඩි ලෙස රඳා පවතින නමුත්, 2015 සහ 2025 අතර කාලසීමාව තුළ එරට දේශීය ගෑස් නිෂ්පාදනය 38%කින් පහත වැටී ඇති බව එම වාර්තාවේ දැක්වේ. ඒ හේතුවෙන් එම කාලය තුළ රජය සතු බලශක්ති සමාගමක් වන 'පෙට්රොබංග්ලා' ආයතනයට ආනයනික LNG වෙත වැඩි වැඩියෙන් යොමු වීමට සිදු වී තිබේ. තවද, ඩකා නගරයේ බලශක්ති පැවැත්ම අධික ලෙස LNG මත රඳා පැවතීම මෙම අර්බුදය හමුවේ එරට මුහුණ දෙන තවත් ප්‍රධාන අභියෝගයක් බව එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි. පවතින විදුලි හා ගෑස් සැපයුම් හිඟය හේතුවෙන් කර්මාන්තශාලාවලට දිනකට සාමාන්‍යයෙන් පැය 4.1ක විදුලි කප්පාදුවකට හා පැය 3.2ක ගෑස් සැපයුම් බාධාවන්ට මුහුණ දීමට සිදුව ඇත. 2026 අප්‍රේල්-ජුනි කාර්තුව තුළ සමස්ත කාර්මික නිෂ්පාදනය 0.4%කින් පහළ ගොස් ඇති අතර, රෙදිපිළි කර්මාන්තශාලාවල ධාරිතා භාවිතය 73% සිට 55% දක්වාත් නිෂ්පාදනය 20%කින් ද පහත වැටී ඇති නමුත් නිමි ඇඳුම් නිෂ්පාදනය 2%කින් වර්ධනය වී ඇති බව එහි දැක්වේ. මීට අමතරව සමීක්ෂණයට ලක් වූ කර්මාන්තශාලාවලින් 94%ක අමුද්‍රව්‍ය පිරිවැය ඉහළ ගොස් සේවා නියුක්තිය 1%කින් සහ නව බඳවා ගැනීම් 19%කින් අඩු වී ඇතත්, ඉදිරි ජූලි-සැප්තැම්බර් කාර්තුවේ නිෂ්පාදන වර්ධන අපේක්ෂා දර්ශකය 54ක් ලෙස ධනාත්මක මට්ටමක පවතින බව ද එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

