
ඩුබායි පැනගිය පොලිස් කොස්තාපල් දකුණු දිසා අපරාධ කොට්ඨාසයට
FM Heart · 1 min read
සංවිධානාත්මක අපරාධ කණ්ඩායමකට ටී-56 ගිනිඅවියක් සහ ජීව පතොරොම් 30ක් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රතු වරෙන්තු නිකුත් කර තිබියදී ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා වැඩිදුර විමර්‍ශන සඳහා බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබේ. ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ 26 හැවිරිදි සැකකරු අද (26) අලුයම ඩුබායි සිට මෙරටට රැගෙනවිත් තිබූ අතර, කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහු සිය භාරයට ගනු ලැබීය. 2025 වසරේ පෙබරවාරි 08 වැනිදා අදාළ ටී-56 ගිනිඅවිය සහ ජීව පතොරොම් 30 අලෙවි කිරීමෙන් අනතුරුව සැකකරු මෙරටින් පලාගොස් තිබූ බව අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්‍ශන බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදු කරනු ලබයි.

