
ඩයනා ගමගේ අධිකරණයේදී වරද පිලිගනී... දඬුවම් නියම කිරීමට නියමිතයි
FM Heart · 1 min read
වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීමේ චෝදනාවට තමන් වරද පිළිගන්නා බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනුම් දුන්නාය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කර තිබේ. එහිදී විත්තිකාර ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මොහාන් සෙනෙවිරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සිය සේවාදායිකාව අදාළ චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගන්නා බව ප්‍රකාශ කළේය. බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක වීම හේතුවෙන් ශ්‍රී ලංකා පාර්‍ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට ඩයනා ගමගේ මහත්මියට නීතිමය සුදුසුකමක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර තීන්දු කිරීමත් සමඟ ඇයට සිය පාර්‍ලිමේන්තු මන්ත්‍රී ධුරය මෙන්ම සංචාරක රාජ්‍ය අමාත්‍ය ධුරය ද අහිමි විය. ඇයගේ පුරවැසිභාවය, විදේශ ගමන් බලපත්‍රය සහ වීසා තත්ත්වය සම්බන්ධයෙන් පැවති එම නීතිමය තත්ත්වයන් මුල් කර ගනිමින්, ආගමන හා විගමන පනත උල්ලංඝනය කරමින් වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳී සිටීම ඇතුළු චෝදනා යටතේ ඇයට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙලෙස නඩු පවරා තිබුණි.

