FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

‘ජෙන් Z’ එකට මේ අයවැයෙන් සහනයක් නෑ – එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වජිර අයවැය ගැන කට අරී!

FM Heart · 2 min read

The Heart Academy
රජයේ 2027 අයවැය මගින් රටේ පවතින දැවෙන ආර්‍ථික අභියෝගවලට විසඳුම් ලබාදීමට හෝ මහජනතාවට අර්‍ථවත් සහනයක් සැලසීමට අපොහොසත් වී ඇති බව පවසමින් එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ හිටපු අමාත්‍ය වජිර අබේවර්‍ධන එය විවේචනය කර තිබේ. කොළඹ මල් පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂ දේශපාලන කාර්‍යාලයේදී අදහස් දක්වමින් වජිර අබේවර්‍ධන සඳහන් කළේ, විශේෂයෙන්ම ‘මිලේනියල්’ (Millennials) සහ ‘ජෙන් Z’ (Generation Z) යන තරුණ පරම්පරාවල අනාගතය සුරක්ෂිත කිරීමට අවශ්‍ය යෝජනා මෙම අයවැය තුළ අඩංගු නොවන බවයි. ලෝකය තාක්ෂණය හරහා වේගයෙන් ඉදිරියට යමින් තිබියදී ශ්‍රී ලංකාව තවමත් පසුගාමී තත්ත්වයක පසුවන බවත්, තරුණ පරපුර වෙනුවෙන් තාක්ෂණය මූලික කරගත් රැකියා අවස්ථා නිර්‍මාණය කිරීමට ප්‍රමාණවත් යෝජනා ඉදිරිපත් කර නොමැති බවත් ඔහු පෙන්වාදුන්නේය. ශ්‍රී ලංකාවේ ඉදිරි ණය ආපසු ගෙවීමේ වගකීම් පිළිබඳව ද අවධානය යොමුකළ වජිර අබේවර්‍ධන, 2028 වසර වන විට රටේ විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 13 දක්වා ඉහළ නංවා ගැනීමට සිදුවනු ඇති බව ප්‍රකාශ කළේය. 2028 වසර වන විට අන්තර්‍ජාතික ආයතන වෙත ඇමරිකානු ඩොලර් බිලියන 3.5ත් බිලියන 4ත් අතර ණය වාරික ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුවන නමුත්, එම වගකීම් ඉටු කරන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීමට මෙම අයවැය අපොහොසත් වී ඇති බවට ඔහු චෝදනා කළේය. අන්තර්‍ජාතික මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන සම්බන්ධයෙන් රජය අනුගමනය කරන ප්‍රවේශය පිළිබඳව ද ප්‍රශ්න කළ වජිර අබේවර්‍ධන, ඊට අදාළ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා නව කමිටුවක් පත්කිරීමෙන් පරිපාලනය තුළ පවතින බෙදීම් පෙන්නුම් කරන බව කියාසිටියේය. ජීවන වියදම පිළිබඳව අදහස් දක්වමින් වජිර අබේවර්‍ධන පැවසුවේ, රාජ්‍ය අංශයේ සේවකයන් බොහෝදෙනෙකු දැඩි ආර්‍ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින අතර, ඇතැමුන් සිය වැටුපෙන් 60%කට ආසන්න ප්‍රමාණයක් ණය වාරික ගෙවීම සඳහා වැයකරන බවයි. සාමාන්‍ය ජනතාවට සිය දෛනික වියදම් පියවාගැනීම සඳහා රන් ආභරණ සහ වෙනත් වටිනා භාණ්ඩ උකස් කිරීමට සිදුව ඇති බවත්, ණය ආපසු ගෙවාගැනීමට නොහැකි වීම නිසා ඇතැමුන්ට තම උකස් කළ දේපළ අහිමි වී ඇති බවත් ඔහු සඳහන් කළේය. එවැනි ආර්‍ථික දුෂ්කරතාවලට පත්ව ඇති පවුල්වලට ඉන් ගොඩඒමට උපකාර වන කිසිදු අර්‍ථවත් වැඩපිළිවෙළක් මෙම අයවැය තුළ අඩංගු නොවන බව වජිර අබේවර්‍ධන සඳහන් කළේය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලන සමයේදී හඳුන්වාදුන් ආර්‍ථික ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් ඔහු කියාසිටියේ, ආර්‍ථික අර්‍බුදයෙන් පසු රට ස්ථාවර කිරීමට එම ප්‍රතිපත්ති උපකාරී වූ බවයි. එම ආර්‍ථික ප්‍රකෘතිය අඛණ්ඩව පවත්වාගෙන යෑ ම සඳහා පැහැදිලි ආර්‍ථික දැක්මක් හෝ උපායමාර්‍ගයක් ඉදිරිපත් කිරීමට වත්මන් පරිපාලනය අපොහොසත් වී ඇති බව එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
99mobile