
කොළඹ ගංවතුරෙන් යටවීම ගැන බොරු වීඩියෝ හදපු අයට නඩු දානවා..- බල්තසාර්
FM Heart · 1 min read
කොළඹ මහ නගර සභාවේ සභාවාරය අමතමින් නගරාධිපතිනිය මේ බව අවධාරණය කළාය. පසුගිය නොවැම්බර් 06 වැනිදා කොළඹ නගරයට ඇදහැළුණු ධාරානිපාත වර්‍ෂාවත් සමඟ පහත් බිම් රැසක් ජලයෙන් යටවීම සම්බන්ධයෙන් පැවති මෙම සභාවාරයේදී පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රීවරුන් අතර දැඩි සංවාදයක් ඇති විය. එහිදී අදහස් දැක්වූ නගරාධිපතිනිය සඳහන් කළේ, එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් ඇතැමුන් කෘත්‍රිම බුද්ධිය උපයෝගී කරගෙන නොමඟ යවන සුළු වීඩියෝ පට නිර්‍මාණය කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවයි. විශේෂයෙන්ම One Galle Face පරිශ්‍රය ජලයෙන් යටවී ඇති ආකාරය පෙන්වන අසත්‍ය වීඩියෝවක් මෙන්ම, තමන් වැවක බැස නාන අයුරු නිරූපණය වන පරිදි සකස් කරන ලද අතිශය විකෘති සහගත AI වීඩියෝවක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව ඇය මෙහිදී පෙන්වා දුන්නාය. මෙවැනි ද්වේෂසහගත ක්‍රියාවන්හි නිරත වූවන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව පැවසූ ඇය, ස්වභාවික ආපදා සහ වර්‍ෂාව පටු දේශපාලන රැළි නිර්‍මාණය කරගැනීම උදෙසා අවභාවිත නොකරන ලෙස ද සියලු පාර්‍ශ්වයන්ගෙන් ඉල්ලා සිටියාය.

