
හොර උපාධි මාට්ටුයි.. උප ජනාධිපති ඉල්ලා අස්වෙයි...
FM Heart · 2 min read
AFP පුවත් සේවය පෙන්වා දෙන්නේ, එරට ආර්ථික අර්බුදය, දූෂණය සහ ලැව්ගිනි මැඩපැවැත්වීමට රජය අපොහොසත් වීම මුල් කරගනිමින් ජනතා අප්‍රසාදය දැඩි වී ඇති පසුබිමක මෙම ඉල්ලා අස්වීම සිදුව ඇති බවයි. 39 හැවිරිදි වියෙහි පසුවන ගිබ්රාන්, එරට ඉතිහාසයේ ලාබාලතම උප ජනාධිපතිවරයා ලෙස පත්ව වසර දෙකක් ගතවීමටත් පෙර සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ප්‍රබෝවෝ සුබියාන්තෝ මහතාට සහ පාර්ලිමේන්තුවට බාරදී තිබේ. මාධ්‍ය අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, දැඩි කනගාටුවෙන් යුතුව තමන් එම ඉල්ලා අස්වීම පිළිගත් බවත්, රටේ සහ ජනතාවගේ යහපත උදෙසා ඔහු ගත් මෙම තීරණය අගය කරන බවත්ය. කෙසේ වෙතත්, වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් ගිබ්රාන් රකබුමිං සඳහන් කර ඇත්තේ මෙය සිය පෞද්ගලික තීරණයක් බවත්, උසස් පාසල් සහතික පිළිබඳ මතභේදය ඊට අදාළ නොවන බවත්ය. තමන් විදේශයකදී සම්පූර්ණ කළ සියලු අධ්‍යාපන ලේඛන නීත්‍යානුකූලව සතුව පවතින අතර, ඒවා දැනටමත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව ද ඔහු අවධාරණය කළේය. සිංගප්පූරුවේ පාසල් අධ්‍යාපනය ලබා අනතුරුව අලෙවිකරණය පිළිබඳ උපාධියක් ලබා ඇති ගිබ්රාන්, 2024 මැතිවරණයට ඉදිරිපත් වන අවස්ථාවේදී තම විදෙස් අධ්‍යාපන සුදුසුකම් ඉන්දුනීසියාවේ වෘත්තීය උසස් පාසල් අධ්‍යාපනයට සමාන බවට සඳහන් සහතිකයක් ඉදිරිපත් කර තිබිණි. එහෙත්, පසුගිය මාසයේදී ඉන්දුනීසියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම ලේඛනය අවලංගු කිරීමට නියෝග කිරීමත් සමඟ ඔහුව ධුරයෙන් පහ කිරීම සඳහා පාර්ලිමේන්තුව තුළ ක්‍රියාමාර්ග ආරම්භ විය. ඉන්දුනීසියානු ව්‍යවස්ථාවට අනුව, පුරප්පාඩු වූ උප ජනාධිපති ධුරය සඳහා නම් දෙකක් ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයාට දින 14 ක කාලයක් හිමිවන අතර, ඉන් අනතුරුව මාස දෙකක් ඇතුළත පාර්ලිමේන්තුව විසින් නව උප ජනාධිපතිවරයකු තෝරා පත් කරගත යුතුව ඇත. ගිබ්රාන් රකබුමිං යනු 2014 සිට 2024 දක්වා ඉන්දුනීසියාවේ දෙවරක් ජනාධිපති ධුරය හෙබවූ ජනප්‍රිය දේශපාලනඥයකු වන ජෝකෝ විඩෝඩෝ (ජොකෝවි) ගේ වැඩිමල් පුත්‍රයාය. ජනාධිපතිවරණවලදී ප්‍රතිවාදීන් ලෙස තරග වැදුණු ජොකෝවි සහ වත්මන් ජනාධිපති ප්‍රබෝවෝ සුබියාන්තෝ අතර ඇතිවූ දේශපාලන සන්ධානයේ ප්‍රතිඵලයක් ලෙස ගිබ්රාන් උප ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නම් කෙරිණි. කෙසේ වෙතත්, මෑත සති කිහිපය තුළ ආර්ථික දුෂ්කරතා, පාලන තන්ත්රයේ අධිකාරීවාදී පිළිවෙත් සහ විෂ දුමාරයක් නිකුත් කරමින් මාස ගණනාවක් පැවති විනාශකාරී ලැව්ගිනි පාලනය කිරීමට රජය අසමත් වීම හේතුවෙන් ජනතාව වීදි බැස දැවැන්ත විරෝධතාවල නිරත වූහ. මීට අමතරව, ජනාධිපතිවරයාගේ දුරකථන සංවාදවලට රහසින් සවන්දීමේ චෝදනාව මත හිටපු පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන රාජ්‍යද්‍රෝහී චෝදනා යටතේ පරීක්ෂණ ආරම්භ කිරීමත් සමඟ ජනාධිපති ප්‍රබෝවෝගේ රජය දැඩි දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටී. ගිබ්රාන්ගේ ඉල්ලා අස්වීමත් සමඟ ජොකෝවි පාර්ශ්වය සහ වත්මන් ජනාධිපතිවරයා අතර පවතින සන්ධානයේ බලතුලනය දැඩි වෙනසකට ලක්වනු ඇත

