
නාමල්ට ඇප දෙන්න මහේස්ත්‍රාත් අධිකරණයට බෑ... ඇප කැන්සල් කරන්නැයි අල්ලස් කොමිසම මහාධිකරණයට යයි
FM Heart · 2 min read
ක්‍රිෂ් සමාගම සමග සිදුවූ බව කියන මූල්‍ය ගනුදෙනුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති ප්රතිශෝධන පෙත්සම, කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් 13 කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද මෙම පෙත්සම කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා ඉදිරියේ නොවැම්බර් 12 කැඳවනු ලැබීය. නීතිඥ රම්සි බාචා මහතාගේ උපදෙස් මත වගඋත්තරකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණයට දන්වා සිටියේ, තමන්ට පෞද්ගලික කටයුත්තක් යෙදී ඇති හෙයින් කරුණු දැක්වීම සඳහා කෙටි දිනයක් ලබාදෙන ලෙසයි. එසේම, අදාළ නඩුවෙන් අධිකරණය මඟින් ඇප නියම කර තිබුණ ද තම සේවාදායකයා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර භාරයේම පසුවන බව ද ජනාධිපති නීතිඥවරයා එහිදී පෙන්වා දුන්නේය. අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ, අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා හෙට දිනයේම කැඳවන ලෙසයි. දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, අදාළ පෙත්සම 13 දින කැඳවීමට තීරණය කළේය. මීට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබූ තවත් ප්රතිශෝධන පෙත්සමක් සලකා බැලීම ද 13 දිනටම නියම කෙරිණි. මහේස්ත්‍රාත් අධිකරණය විසින් සැකකාර නාමල් රාජපක්ෂ මහතාට ඇප ලබාදීමට ගත් තීරණය නීතියට පටහැණි හෙයින්, එම ඇප නියෝගය ප්‍රතිශෝධනය කර අවලංගු කරන ලෙස අල්ලස් කොමිසම සිය පෙත්සම මඟින් මහාධිකරණයෙන් ඉල්ලා ඇත.

