
කොළඹ යළි යටවීමේ අවදානමක්.. කාලගුණේ ලිඛිතව දන්නයි..
FM Heart · 2 min read
එම වාර්තාව නිකුත් කර ඇත්තේ නොවැම්බර් දෙවැනිදාය. එවැනි වාර්තා නිකුත් කර තිබියදී කොළඹ නගරය, අවිස්සාවේල්ල නගරය, නාවලපිටිය නගරය ක්ෂණික ගංවතුරකට පසුගිය දින තුන තුළ ලක්විය. කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් 2010 වසරේ මිලිමීටර් 440 කත්, 1993 වසරේ මිලිමීටර් 493 ක වර්ෂාපතන වාර්තා වී තිබෙන බැවින් ඉදිරියේදීත් මෙවැනි අවස්ථා පැමිණීමේ ඉඩකඩ තිබෙන බව කාලගුණ විද්‍යා අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න කියා සිටී. ඉකුත් හයවැනිදා කොළඹට ලැබුණු වර්ෂාපතනය මිලිමීටර් 120 ට වැඩි බවත් ජල ප්‍රමාණය ක්ෂණිකව බැස යෑමට ක්‍රමයක් නොතිබීම සහ කානු පද්ධති අවහිරවීම ක්ෂණික ගංවතුර තත්ත්වයක් ඇතිවීමට බලපෑ බවද අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න පවසා සිටියේය. කොළඹ නගරය යටවීම සම්බන්ධයෙන් කොළඹ පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර් කියා සිටින්නේ කොළඹ නගරයේ කානු පද්ධතිය මීට වසර ගණනාවකට පෙර නිර්මාණය කර ඇත්තේ මිලිමීටර් 30 ක පමණ වර්ෂාපතනයකට ඔරොත්තු දෙන අන්දමට බවත්, ඉකුත් හයවැනිදා ඇතිවූ වර්ෂාපතනය මිලිමීටර් 129 ක් බැවින් මෙවැනි තත්ත්වයක් ඇතිවූ බවය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා පවසන පරිදි මීට පෙර කොළඹ නගරයේ මිලිමීටර් 440 ක වර්ෂාපතනයක් ලැබී ඇති බව සඳහන් කරන කොළඹ දිස්ත්‍රික්කයේ සමගිජන බලවේගයේ මන්ත්‍රි එස්.එම්. මරික්කාර් කියා සිටින්නේ නගරාධිපතිනිය පවසන්නේ පට්ටපල් බොරුවක් බවත්, එවැනි වර්ෂාපතනයකදී පවා කොළඹ නගරයේ මෙවැනි යටවීමක් සිදුවී නැති බවත්ය. එමෙන්ම නගරාධිපතිනියට එරෙහිව මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගන්නා බවත් කොළඹ ජනතාව සමග පාරට බැසීමට තමන් කටයුතු කරන බවත් මරික්කාර් මන්ත්‍රිවරයා සඳහන් කළේය. ඒ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය. මේ අතර ඊයේ (8) පස්වරුවේ ඇදහැලුණු ධාරානිපාත වැසි සහ සුළං හේතුවෙන් අවිස්සාවේල්ල පෞද්ගලික බස් නැවතුම්පොළ සම්පූර්ණයෙන් ජලයෙන් යටවිය. කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගය, පුවක්පිටිය ප්‍රදේශයෙන්ද ජලයෙන් යටවිය. දැඩි සුළං හේතුවෙන් නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටීමෙන් තිදෙනෙක් තුවාල ලැබූ අතර බැතිමතුන් පැමිණි වාහනවලටද දැඩි හානි සිදුවී ඇත.

