
‘දීග දන්තු එක’ ඇතාට විදුලිය දමා මැරූ සැකකරුට පොදු දේපළ පනත යටතේ නඩු
FM Heart · 2 min read
නඩු ගොනුව ගල්කිරියාගම පොලිසියට භාරදෙන ලෙසත් නියෝග කලාවැව කහල්ල පල්ලේකැලේ අභය භූමියේ සැරි සරමින් සිටි ‘දීග දන්තු එක’ හස්තියාට විදුලිය සර වද්දවා මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර පෞද්ගලික රක්ෂණ සමාගමේ කැකිරාව ශාඛාවේ කළමනාකාරුට එරෙහිව පොදු දේපළ පනත යටතේ නඩු පවරන ලෙස නීතිපතිවරයා විසින් වනජීවි අධ්යක්ෂ ජනරාල්වරයාට දන්වා ඇති බව ගල්කිරියාගම වනජීවි කාර්යලායේ අඩවි ආරක්ෂක ප්‍රශාන්ත විජේකෝන් මහතා කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. ඒ ‘දීග දන්තු එක’ හස්තියාට විදුලිය සර වද්දවා මරා දැමීමේ සිද්ධියට අදාළ නඩුව කැකිරාව මහෙස්ත්‍රාත් උදාරි ගුණසේකර මෙනවිය ඉදිරියේ යළි කැඳවූ අවස්ථාවේදීය. ‘දීග දන්තු එක’ හස්තියා ඝාතන සිද්ධියට අදාළ සැකකරුට පොදු දේපළ පනත යටතේ නඩු පවරන ලෙස නීතිපතිවරයා වනජීවි අධ්යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී ඇති නිසා මෙම නඩුවට අදාළ නඩු ගොනුව ඉදිරි නීතිමය කටයුතු සඳහා ගල්කිරියාගම පොලිසියට භාරදෙන ලෙසට මහෙස්ත්‍රාත්වරිය ගල්කිරියාගම වනජීවි ජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂකවරයාට නියෝග කළේය. ඒ අනුව අදාළ නඩු ගොනුව ගල්කිරියාගම වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක ප්‍රශාන්ත විජේකෝන් මහතා විසින් ගල්කිරියාගම පොලිසියට භාරදෙනු ලැබීය. මෙම අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මසකට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතව පසුව දැනට ඇප මත මුදාහැර සිටිනුයේ පෞද්ගලික රක්ෂණ සමාගමක කැකිරාව ශාඛාවේ කළමනාකරු වන ගල්කිරියාගම හිඟුරුවැව පදිංචි උපුල් ප්‍රියන්ත බණ්ඩාර නමැත්තෙකි. පැමිණිල්ල වෙනුවෙන් ගල්කිරියාගම වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක ප්‍රශාන්ත විජේකෝන් මහතා සහ වන සත්ත්ව නියාමක සඳුන් ඒකනායක මහතා පෙනී සිටි අතර සැකකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන කුමාර තෙන්නකෝන් මහතා ඇතු`එ නීතිඥවරු කණ්ඩායමක් පෙනී සිටියහ. මෙම නඩුවට මුල් අවස්ථාවේදී අතරමැදි පාර්ශවයන් ලෙස අලි සුරැකීමේ ලෝක සංවිධනායේ ශ්‍රී ලංකාවේ නියෝජිත දිලකි ශෂිකලා වීරරත්න මහත්මියගේ උපදෙස් මත එම සංවිධානය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ විජිත වික්‍රමනායක මහතා පෙනී සිටි අතර දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සභාපතිත්වය දරන ස්වභාව ධර්මයට සහ වන සතුන්ට යුක්තිය උදෙසා සංවිධානය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නීතිඥ අනුරුද්ධ විජයරත්න මහතාත් පෙනී සිටියේය. විදුලිය සර වද්දවා මරා දැමුණු ‘දීග දන්තු එක’ හස්තියාගේ වයස අවුරුදු 45ක් වන අතර උගේ උස අඩි 9 යි අඟල් 3 කි. ‘දීග දන්තු එක ඇතා’ අඩි 6යි අඟල් 2ක පිරිපුන් දළ යුගළකට හිමිකම් පෑවේය. දීග දන්තු එක හස්තියාගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ස්වකීය පරීක්ෂණයේදී තහවුරු කර ඇත්තේ අධික විදුලිය සර ශරීරයට ස්පර්ෂ වීමෙන් හෘදය වස්තුවට ඇති වූ කම්පනය හේතුවෙන් ‘දීග දන්තු එක’ මිය ගොස් ඇති බවයි. අනුරාධපුර අධිකරණ – උපාලි ආනන්ද

