
ඉරාන නැවියන් මුදාහැරීම හමුවේ ලංකාවට සම්බාධක අවදානමක්..- ඇමෙරිකාවෙන් ප්‍රතිචාරයක්
FM Heart · 2 min read
‘ඩේලි මිරර්’ පුවත්පත යොමු කළ ප්‍රශ්නයකට විද්‍යුත් තැපෑල ඔස්සේ ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, සම්බාධක පනවා ඇති නෞකාවලට ඉන්ධන සැපයීම, ආහාර හා අනෙකුත් ද්‍රව්‍යමය පහසුකම් ලබා දීම, නඩත්තු සේවා සැපයීම හෝ එම නෞකාවල කාර්ය මණ්ඩල හුවමාරුවට පහසුකම් සැලසීම එක්සත් ජනපද සම්බාධකවලට යටත් වීමේ අවදානමක් ඇති කරන බවයි. "ඉරාන පාලන තන්ත්රයේ අහිතකර හැසිරීම්වලට අනුබල දෙන ඉරාන හමුදාමය ක්‍රියාකාරකම්, න්‍යෂ්ටික ව්‍යාප්ති කටයුතු, ප්‍රසම්පාදන ජාලයන්, හානිකර සයිබර් මෙහෙයුම් සහ නීතිවිරෝධී තෙල් වෙළඳාම හෙළිදරව් කිරීමටත්, ඒවා අඩපණ කර විනාශ කිරීමටත් එක්සත් ජනපදය අඛණ්ඩව ක්‍රියා කරනවා. මෙම ක්‍රියාකාරකම්වල නිරත පාර්ශ්වයන් වගවීමට ලක් කිරීම සඳහා එක්සත් ජනපදය සමඟ එක්වන ලෙස අප ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා," යනුවෙන් එම ප්‍රකාශකයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ භෞමික මුහුදු සීමාවෙන් ඔබ්බෙහි පිහිටි අනන්‍ය ආර්ථික කලාපය තුළ අතරමංව තිබූ ඉරාන නෞකාවකින් ලැබුණු හදිසි ආපදා ඇමතුමකට ප්‍රතිචාර දක්වමින්, එහි සිටි අසනීප වූ නැවියන් 40 දෙනෙකුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගියදා මැදිහත් විය. කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලය විසින් මෙම මෙහෙයුම සැලසුම් කර තිබූ අතර, ගොඩබිමට රැගෙන ආ එම නාවිකයන් පසුව ගුවන් මගින් ඉරානය බලා පිටත්ව ගොස් තිබිණි. මේ වන විට ඇමෙරිකාව විසින් සම්බාධක පනවා ඇති ඉරාන නෞකා සංඛ්‍යාව 20කට ආසන්න වේ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව දිගින් දිගටම අවධාරණය කරන්නේ තමන් නොබැඳි සහ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් දැඩිව අනුගමනය කරන බවයි.

