
දීමනා ඉල්ලමින් දොස්තරලා රට පුරා විරෝධතා..
FM Heart · 3 min read
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය යූ.කේ.බී. වරකගොඩ මහතාගේ අත්සනින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ, පසුගිය වසර ගණනාව පුරා රට තුළ පැවති අතිශය දුෂ්කර ආර්ථික අර්බුදය හමුවේ වුවද ජාතික සෞඛ්‍ය දර්ශක ජාත්‍යන්තර මට්ටමේ පවත්වා ගැනීමට වෛද්‍යවරුන් දැඩි කැපකිරීමක් සිදුකළ බවයි. ආර්ථික අසාධාරණයට, වෛද්‍යවරුන්ගේ හිඟයට, දීමනා කප්පාදුවට සහ මර්දනයට එරෙහිව රට පුරා වෛද්‍යවරුන්ගෙන් විරෝධතා වසර ගණනාවක් මුළුල්ලේ පැවැති අතිශය දුෂ්කර ආර්ථික තත්ත්වයන් මධ්‍යයේ වුවද රටේ සෞඛ්‍ය දර්ශක ජාත්‍යන්තර ඇගයීමට ලක්වන මට්ටමේ පවත්වා ගනිමින් ප්රශස්ත සෞඛ්‍ය සේවයක් ලබාදීමට විශේෂඥ වෛද්‍යවරුන්, පරිපාලන ශ්‍රේණියේ වෛද්‍යවරුන් සහ ශ්‍රේණි වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින් විශේෂ කැපකිරීමක් සහ දායකත්වයක් දරන ලදී. සෞඛ්‍ය පද්ධතිය පවත්වා ගැනීමෙහිලා නායකත්වය ලබාදෙමින් ප්‍රමුඛතම කාර්යයක් ඉටු කරනු ලබනුයේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් විසිනි. රට මුහුණ දී සිටි ආර්ථික අර්බුදය තුළ සෞඛ්‍ය සේවාව පවත්වා ගැනීම සඳහා වෛද්‍යවරුන් විසින් අතිශය දැඩි කැපකිරීම් සිදුකරමින් එමෙන්ම තමන්ට හිමි අමතර රාජකාරි දීමනා සහ නිවාඩු දින දීමනාවන්හි තුනෙන් එකක ප්‍රමාණයක් පවා කැප කරමින් පැවති සියලු රජයන් විසින් ගන්නා ලද ආර්ථික තීරණ සඳහා සිය දායකත්වය සහ සහයෝගය ලබා දෙන ලදී. අතිගරු ජනාධිපතිතුමාගේ සහ වත්මන් රජයේ නිල ස්ථාවරයන්ට අනුව පැවති ආර්ථික දුෂ්කරතාවයන්ගෙන් රට මුදවා ගෙන පවතින අතර වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින් විසින් සිදු කරන ලද දැඩි කැපවීම කෙරෙහි ධනාත්මකව ප්‍රතිචාර දක්වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය කාලය මුළුල්ලේම බලාපොරොත්තු විය. වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රය මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටද, එම ගැටලු කෙරෙහි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කරන ලද විසඳුම් අන්තර්ගත 2027 අයවැය සඳහා වූ යෝජනාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටද අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමිය සහ ගරු සෞඛ්‍ය ඇමතිතුමා වෙත සාකච්ඡා ඉල්ලීම් කිහිප වතාවක් ඉදිරිපත් කරනු ලැබූවද මේ වනතෙක් ඒ පිළිබඳව සාධනීය ප්‍රතිචාරයක් ලැබී නොමැත. එබැවින් ඒ සම්බන්ධයෙන් රට පුරා සුවහසක් වෛද්‍යවරුන්ගේ සංවේදීභාවය විරෝධතාවයක් ලෙස ප්‍රකාශ කිරීමද, එමෙන්ම වෛද්‍යවරුන්ගේ වැටුප් හා දීමනා පිළිබඳ අර්බුදය සහ ප්‍රමාණවත් වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය නොමැති වීම නිසා නිදහස් සෞඛ්‍ය පද්ධතිය මුහුණ දෙන අතිශය බැරෑරුම් ප්‍රශ්න සම්බන්ධයෙන් සහ මර්ධන අණපනත් පිළිබඳවද ජනතාව දැනුවත් කිරීම අරමුණු කොටගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරි දින කිහිපයේදී රට පුරා ප්‍රධාන රෝහල් ආශ්‍රිතව විරෝධතා සංවිධානය කරනු ලැබ ඇත. වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින්ගේ කප්පාදු කරන ලද දීමනා නැවත ලබා දෙන ලෙස රජයට බල කිරීම, සපයන සේවයට ගැලපෙන සාධාරණ වැටුපක් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින් වෙත ලබාදීම, සිය සේවය සැපයීම සඳහා අවශ්‍ය කරන අනෙකුත් පහසුකම් නිසි ලෙස ලබාදීම, නිදහස් සෞඛ්‍ය සේවය ගුණාත්මකව පවත්වාගෙන යාම උදෙසා අත්‍යවශ්‍ය වෛද්‍යවරුන් ඇතුළු අනෙකුත් සෞඛ්‍ය සේවක සංඛ්‍යා කඩිනමින් බඳවා ගැනීම, අඛණ්ඩ ඖෂධ සැපයුමක් තහවුරු කිරීම සහ ගුණාත්මක සෞඛ්‍ය සේවයක් සඳහා අවශ්‍ය කරන යටිතල පහසුකම් නිසි ලෙස ප්‍රමාණවත්ව සපයන ලෙස රජයට බල කිරීම මෙන්ම මෙම කරුණු සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු කොට සාධනීය සාකච්ඡාවකට ප්‍රවේශ වීමට රජයට බලපෑම් කිරීම මෙම විරෝධතාවන්හි අරමුණු වේ.

