
තෙල් මිල නැග්ගේ මෙහෙමයි
FM Heart · 1 min read
මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව ලංකා ඛනිජතෙල් සංස්ථාව පෙරේදා (01දා) මධ්‍යම රාත්‍රියේ සිට මිල සංශෝධනය කිරීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15 කින් ද, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් ද, ලංකා සුදු ඩීසල් මිල රුපියල් 05 කින් ද, ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් ද ඉහළ දමා ඇත. මිල වැඩි කිරීම අනුව ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 424 ක්, ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 490ක්, සුදු ඩීසල් ලීටරයක් රුපියල් 397ක්, ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 543ක් වේ. කෙසේ වෙතත් භූමිතෙල් මිලෙහි වැඩි වීමක් සිදුව නැති අතර භූමිතෙල් ලීටරයක් රු. 285 ක් වේ. මීට සමගාමීව ඉන්ධන අලෙවි කරන පෞද්ගලික සමාගම් ද ඛනිජ තෙල් සංස්ථාවේ මිලට සමකර ඇත. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල මීට දින කිහිපයකට පෙර පෞද්ගලික සමාගම් විසින් රුපියල් 15කින් ඉහළ දමා තිබූ නිසා නැවත ඔවුන් විසින් තවත් වැඩි කිරීමක් සිදුකර නැතැයි ඉන්ධනහල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා පැවසීය. කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මිල ගණන්වලට වඩා ඇතැම් පෞද්ගලික සමාගම්වල ඉන්ධන මිල ගණන්වල වෙනසක් පවතින බවට ද වාර්තාවේ. චමින්ද සිල්වා

