
අයථා වත්කම් පැමිණිල්ලකට නි. ඇමැති වටගල හා හිටපු ඇමැති ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසමෙන් පූර්‍ණ විමර්‍ශනයක්
FM Heart · 2 min read
අයථා ලෙස වත්කම් උපයා ඇතැයි කරන ලද පැමිණිල්ලකට අදාළව, මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල සහ හිටපු බලශක්ති ඇමැති කුමාර ජයකොඩි යන මහත්වරුන්ට එරෙහිව පූර්‍ණ විමර්‍ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්‍ශන කොමිෂන් සභාව තීරණය කර ඇතැයි වාර්‍තා වේ. ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානය විසින් 2025.09.16 වැනිදා අදාළ වත්කම් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනතට අදාළව පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින් කරන ලද පැමිණිල්ලකට අනුව, අල්ලස් කොමිසම මෙලෙස විමර්‍ශන ආරම්භ කර ඇති බව පැවසේ. පැමිණිල්ලට අදාළව හිටපු ඇමැතිවරයාගේ සහ වත්මන් නියෝජ්‍ය ඇමැතිවරයාගේ වත්කම් පිළිබඳව සිදු කළ මූලික සොයාබැලීම්වලදී මතුව ඇති ගැටලු කිහිපයක් මත මෙම පුළුල් විමර්‍ශනය ආරම්භ කිරීමට කොමිසම පියවර ගෙන තිබේ. චෝදනා ලත් දේශපාලනඥයන් දෙදෙනා මීට පෙර ඉදිරිපත් කර ඇති වත්කම් සහ බැරකම් ප්‍රකාශන ද පසුව ලබාදුන් ප්‍රකාශන ද අතර පවතින විෂමතා හා නොගැළපීම් සැලකිල්ලට ගෙන මෙම පූර්‍ණ විමර්‍ශනය ආරම්භ කර ඇති බව කියයි. නීතිවිරෝධීව වත්කම් උපයාගෙන ඇති බවට වත්මන් රජයේ ඇමැතිවරුන් වන බිමල් රත්නායක, වසන්ත සමරසිංහ, සුනිල් හඳුන්නෙත්ති, නලින්ද ජයතිස්ස, නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල සහ එවකට ඇමැති පුණ්‍යසිරි කුමාර ජයකොඩි යන මහත්වරුන්ට එරෙහිව පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා 2025.09.16 වැනිදා ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයේ සභාපති, ජාමුණි කමන්ත තුෂාර මහතා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. එම පැමිණිල්ලට අදාළව, 2025.12.30 දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්‍ශන කොමිෂන් සභාව, ජාමුණි කමන්ත තුෂාර මහතාගෙන් ප්‍රකාශයක් ද ලබාගෙන තිබිණි. සුජීව තත්සර

