
න්‍යෂ්ටික ප්‍රහාර අනතුරු ඇගවීම්...
FM Heart · 2 min read
ජාත්‍යන්තර 'බිස්නස් ඉන්සයිඩර්' පුවත් සේවය වාර්‍තා කරන පරිදි, දෙරටේම පද්ධතීන් එකවර සයිබර් ප්‍රහාරයන්ට ලක්ව ඇති බව දෙපාර්‍ශ්වයම මේ වන විට තහවුරු කර ඇත. පළමුව සයිබර් ප්‍රහාරය එල්ල වී ඇත්තේ යුක්‍රේනයේ ඩිජිටල් පරිවර්‍තන අමාත්‍යාංශය සහ 'අජැක්ස් සිස්ටම්ස්' සමාගම එක්ව පවත්වාගෙන යන, එරට මිලියන 6.7 ක ජනතාවක් භාවිත කරන Air Alert යෙදවුමටය. මධ්‍යම රාත්‍රියට ආසන්න වෙත්ම කියෙව් අගනුවරට "විකිරණ තර්‍ජනයක්" පවතින බවට යුක්‍රේන භාෂාවෙන් එම යෙදවුම හරහා පරිශීලකයන්ට පණිවිඩ ලැබී තිබේ. ඉන් සුළු වේලාවකට පසු රුසියානු භාෂාවෙන් නිකුත් වූ පසු විපරම් පණිවිඩයක දැක්වුණේ, "යුක්‍රේනය පුරා න්‍යෂ්ටික අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේ. බිය නොවන්න, මේ එන්නේ ඔරෙෂ්නික් මිසයිලයයි" යනුවෙනි. මීට අමතරව කියෙව් නුවර රසායනික තර්‍ජන සහ වීදි සටන් පවතින බවට ද ව්‍යාජ පණිවිඩ සංසරණය විය. කෙසේ වෙතත්, යුක්‍රේන ගුවන් හමුදාව වහාම ප්‍රකාශයක් නිකුත් කරමින් තහවුරු කළේ කිසිදු විකිරණ අනතුරක් නොමැති බවත්, අනතුරු ඇඟවීමේ යෙදවුම සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති බවත්‍ය. මෙම ක්‍රියාව පිටුපස රුසියාව සිටින බවට යුක්‍රේන උපායමාර්‍ගික සන්නිවේදන මධ්‍යස්ථානය චෝදනා කර තිබේ. යුක්‍රේන සිදුවීමෙන් පැය කිහිපයකට පසුව, රුසියානු හදිසි ආපදා අමාත්‍යාංශයේ නිල ජංගම යෙදවුම ද දැවැන්ත සයිබර් ප්‍රහාරයකට ගොදුරු වූ බව මොස්කව් බලධාරීහු තහවුරු කළහ. එහිදී එම අමාත්‍යාංශය පාලනය කරන ප්‍රාදේශීය ටෙලිග්‍රෑම් නාලිකා ඔස්සේ අසභ්‍ය වචන සහිත අර්‍ථ විරහිත ව්‍යාජ පණිවිඩ රැසක් නිකුත් වී තිබිණි. එක් පණිවිඩයකින් අනතුරු අඟවා තිබුණේ, යුක්‍රේනයේ 'P1-Sun' වර්‍ගයේ කුඩා ඩ්‍රෝන යානා මඟින් රුසියාව දෙසට න්‍යෂ්ටික බෝම්බ රැගෙන එන බවයි. එමෙන්ම රුසියානු වැසියන්ට සති තුනකට සෑහෙන ආහාර නිවෙස්වල ගබඩා කරගන්නා ලෙස ද එම ව්‍යාජ අනතුරු ඇඟවීම් මඟින් දන්වා තිබුණි. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව මෙතෙක් කිසිදු පාර්‍ශ්වයකට සෘජුව චෝදනා කර නොමැත.

