
කහ සිිලින්ඩරේට නිල් ගෑස්.. රජයෙන් තීන්දුවක්
FM Heart · 2 min read
මෙම ගැටලුව සම්බන්ධයෙන් ලබන සතියේදී වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ සියලු පාර්ශ්වයන් සමඟ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ. වෙළෙඳපොළ තුළ මෑතකදී නිර්මාණය වූ ගෑස් හිඟය පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ලිට්රෝ සමාගම සාමාන්‍යයෙන් දිනකට කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩර 80,000ක් වෙළෙඳපොළට නිකුත් කළ ද, පසුගිය සතියේ මාලදිවයිනේ සිට ගෑස් රැගත් නෞකාවක් පැමිණීම දින තුනකින් ප්‍රමාදවීම හේතුවෙන් සිලින්ඩර 240,000ක පමණ තාවකාලික හිඟයක් හටගත් බවයි. කෙසේ වෙතත්, මෙට්‍රික් ටොන් 3,600ක් රැගත් නෞකාව මෙරටට පැමිණීමෙන් පසු දෛනික බෙදාහැරීම සිලින්ඩර 100,000 දක්වා ඉහළ නංවා එම හිඟය සමනය කිරීමට ලිට්රෝ සමාගම පියවර ගෙන ඇත. වෙළෙඳපොළේ පවතින සැබෑ අර්බුදය ලිට්රෝ සැපයුම නොව, මෙරට ගෑස් වෙළෙඳපොළෙන් 20%ක කොටසකට හිමිකම් කියන ලාෆ්ස් සමාගම මාස දෙකක පමණ කාලයක සිට වෙළෙඳපොළට ප්‍රමාණවත් පරිදි ගෑස් නිකුත් නොකිරීම බව නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය. මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හරහා ලාෆ්ස් සමාගම දැනුවත් කර සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා ලෙසත්, එසේ නොවන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් දැනුම් දී ඇත. තවද, ලාෆ්ස් සමාගමට සැපයුම ලබාදිය නොහැකි නම් ඔවුන්ගේ සිලින්ඩර සඳහා ලිට්රෝ සමාගම හරහා ගෑස් ලබාදීමට ඇති හැකියාව පිළිබඳව විමසා සිටිය ද, ලාෆ්ස් සමාගම මෙතෙක් ඊට ස්ථිර පිළිතුරක් ලබා දී නොමැති බව හෙතෙම සඳහන් කළේය. ලාෆ්ස් සමාගම මෙරට ව්‍යාපාර ආරම්භ කර ඇත්තේ අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින්, නිෂ්පාදනයෙන් 80%ක් අපනයනය කිරීමට සහ 20%ක් දේශීය වෙළෙඳපොළට සැපයීමේ පදනම මත බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, වර්තමානය වන විට ඔවුන් දේශීය වෙළෙඳපොළට එම 20% හෝ නිසි පරිදි ලබා නොදෙන අතර අපනයන කටයුතු ද සිදු නොකරන බව පැවසීය. අපනයනය සඳහා වරප්‍රසාද ලබාගත් සමාගමකට මෙරට තුළ පමණක් වෙළෙඳාම් කිරීමට ඉඩ දිය නොහැකි බවත්, ඔවුන්ගේ සැපයුම් මුළුමනින්ම අත්හිටුවන්නේ නම් ලිට්රෝ සමාගමට සම්පූර්ණ වෙළෙඳපොළ ආවරණය කළ හැකිදැයි සොයා බලා අවශ්‍ය වුවහොත් නව සමාගමකට වෙළෙඳපොළ විවෘත කිරීම පිළිබඳව ඉදිරියේදී සලකා බලන බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

