
හෝමාගම පොලිසියේදී මියගිය පුද්ගලයා කලින් දවසේ රිය අනතුරකට ලක්වෙලා රෝහලෙන් පැන ගිය අයෙක්..- පොලිසිය
FM Heart · 1 min read
පොලිස්පතිවරයාගේ සෘජු නියෝගය පරිදි බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය මඟින් ක්‍රියාත්මක කරනු ලබන මෙම පුළුල් විමර්ශනයට අදාළව, සිද්ධියට මුල් වූ සියලු පාර්ශ්වයන්ගෙන් සාක්ෂි සටහන් කරගැනීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. මියගිය පුද්ගලයා සමඟ පසුගිය ඔක්තෝබර් 24 වැනිදා රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබ, මේ වන විට බන්ධනාගාරගතව පසුවන අනෙක් සැකකරුගෙන් අධිකරණ නියෝග මත බන්ධනාගාරය තුළදීම පසුගිය 29 වැනිදා දීර්ඝ ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත. සැකකරුගේ මරණයට අදාළව පසුගිය ඔක්තෝබර් 28 වැනිදා අත්අඩංගුවට ගැණුනු හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා (හිටපු උප පොලිස් පරීක්ෂක) පසුදා (29) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ලබන නොවැම්බර් මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. මියගිය සැකකරු ඔක්තෝබර් 24 වැනිදා දහවල් රිය අනතුරකට ලක්ව ප්‍රතිකාර ලබාගැනීම සඳහා හෝමාගම රෝහලට (ඇඳ හිසපත් අංක 65644/2026 යටතේ) පස්වරු 01.05ට ඇතුළත්ව ඇති අතර, එදිනම පස්වරු 05.55ට කිසිදු අවසරයකින් තොරව රෝහලෙන් රහසේ පලාගොස් ඇති බවට විමර්ශනවලදී තහවුරු වී තිබේ. අනතුරුව ඔක්තෝබර් 25 වැනිදා පොලිසිය මඟින් මොහු යළි අත්අඩංගුවට ගෙන රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති අතර, මෙම සම්පූර්ණ කාලරාමුව හා වෛද්‍ය වාර්තා පිළිබඳව විමර්ශන නිලධාරීන් විසින් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇත.

