
අස්වැසුමලාභීන් අඩු කරන්නෙ නෑ.. තව වැඩි කරනවා..- ඇමති
FM Heart · 2 min read
අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවති විශේෂ වැඩසටහනක් අමතමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කර තිබේ. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මෙහෙයවීමෙන් දිවයින පුරා දියත් කෙරෙන, අඩු ආදායම්ලාභී පවුල් නඟාසිටුවීමේ “ප්‍රජා සවියට නව බලයක්” ජාතික වැඩසටහන යටතේ අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල සමෘද්ධි නිලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් මෙම හමුව සංවිධානය කර තිබිණි. එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, සමස්ත දිවයින පුරාම මේ වන විට අස්වැසුම ප්‍රතිලාභය ලබමින් සිටින්නේ 1,206,000 (දොළොස් ලක්ෂ හයදහසක්) වැනි පිරිසක් බවයි. සමස්ත ප්‍රතිලාභීන් ප්‍රමාණයම ලක්ෂ 12කට මඳක් වැඩි තත්ත්වයක් තුළ, ලක්ෂ 14කගේ දීමනා අත්හිටුවා ඇතැයි පැවසීම ප්‍රායෝගික ගණිතමය සත්‍යතාවයෙන් පවා බැහැර වූ හාස්‍යජනක ප්‍රකාශයක් බව හෙතෙම සඳහන් කළේය. පළමු අදියර යටතේ මීට පෙර ප්රතිලාභ ලැබුවේ 989,000ක පිරිසකි. නව සමාලෝචනයෙන් පසු සුදුසුකම් ලැබූ 991,000කගේ නාමලේඛනයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ අනුව ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව 2,000කින් පමණ ඉහළ ගොස් ඇත. මීට අමතරව පළමු අදියරට අදාළව තවත් 740,000කගේ පමණ අයදුම්පත් සමාලෝචනය කිරීමට නියමිතව පවතී. මෙම අදියර යටතේ ප්‍රතිලාභීන් 215,000ක් පමණ ලියාපදිංචිව සිටිති. ඔවුන්ගේ සමාලෝචන කටයුතු ලබන වසරේදී සිදුකිරීමට නියමිත අතර, එම ක්‍රියාවලිය අවසන් වන තෙක් දැනට සිටින කිසිදු අයෙකුගේ දීමනාව කප්පාදු නොකර අඛණ්ඩව ලබා දීමට රජය පියවර ගෙන තිබේ. මෙම නිල දත්ත සැසඳීමේදී ඉදිරියේදී සිදුවන්නේ ප්‍රතිලාභීන් ඉවත් කිරීමක් නොව, සුදුස්සන් තවදුරටත් ඊට එක්වීමෙන් ප්‍රතිලාභී සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාම බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එමනිසා ඇතැම් පාර්ශ්ව පටු අරමුණු මුල්කරගෙන ජනතාව නොමඟ යැවීමට පතුරුවන මෙවැනි සාවද්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

